Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවික හමුදාව හමුවේ පොලිසියට තියුණු ජයක්
අන්තර් සමාජ රග්බි ලීගය

නාවික හමුදාව හමුවේ පොලිසියට තියුණු ජයක්

editorial - 2025 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය ආරම්භ කරමින් පොලිසිය සහ නාවික හමුදාව අතර අද (10 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 23-20 ක තියුණු ජයක් වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත් විය. පොලිස් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජය මෙය විය. 

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-07 ක් ලෙස පෙරමුණ ගත් පොලිස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 13 ක් රැස්කළහ. නාවික හමුදා ක්‍රීඩකයන්ද දෙවැනි අර්ධයේදී ලකුණු 13 ක් රැස්කළ නමුත් පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව තරගයේ ජය පොලිසිය සතුවිය.  

පළමු අර්ධයේදී උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු ලබාගත් පොලිස් ක්‍රීඩකයන් දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගිනි. නාවික හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී ගෝල දිනුමක් මගින්ද, දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළහ. 

තරගයේ 15 වැනි විනාඩියේදී සෙනුර පීරිස් වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් ඉසුරු කෝන්ගහවත්ත ලකුණු 7-0 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය. එහෙත් 23 වැනි සහ 28 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ලබාගත් උදාර සංජුල සහ යෙහාන් බුලත්සිංහල ලකුණු 10-07 ක් ලෙස පොලිස් කණ්ඩායමට පළමු අර්ධයේ වැඩි වාසි දිනා දුන්හ. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 7 ක් ගතවන විට (47 වැනි විනාඩියේදී) පොලිස් කණ්ඩායම වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට අම්ජාඩ් ෆවුමි සමත් විය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් යෙහාන් බුලත්සිංහල එය ගෝල දිනුමක් බවට පත් කරමින් ලකුණු තත්වය 17-07 ක් බවට පත් කළේය. 

තරගයේ 50 වැනි විනාඩියේදී ඉසුරු කෝන්ගහවත්ත නාවික හමුදාව වෙනුවෙන්ද, 53 වැනි විනාඩියේදී යෙහාන් බුලත්සිංහල පොලිසිය වෙනුවෙන්ද දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත්හ. ඒ අනුව තරගයේ ලකුණු තත්වය 20-10 ක් ලෙස වෙනස් විය. 

නාවික හමුදාවේ දිනේෂ් ලක්මාල් 64 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු 20-15 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය අඩු කළේය. එහෙත් 71 වැනි විනාඩියේදී පොලිසිය වෙනුවෙන් යෙහාන් බුලත්සිංහල සාර්ථක කරගත් දඬුවම් පහරත් සමග 23-15 ක් ලෙස යළිත් ලකුණු පරතරය ඉහළ ගියේය. 

තරගය නිමා වීමට විනාඩියක් ඉතිරිව තිබියදී එනම් 79 වැනි විනාඩියේදී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නාවික හමුදා ඉදිරි පෙළ ක්‍රීඩකයන් සමත් වුවද ඉන් තරගයේ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදු නොවීය. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 23-20 ක තියුණු ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ. 


පස්වැනි සතියේ සෙසු තරග 
■ ජන. 11 වැනිදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට 
■ ජන. 11 වැනිදා - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී - පස්වරු 6.30 සිට 
■ ජන. 12 වැනිදා - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට 


අදහස් (0)

නාවික හමුදාව හමුවේ පොලිසියට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.