Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට කඩුලූ 3 ක ජයක්

නවසීලන්තයට කඩුලූ 3 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ අර්ධ ශතකයේ පිහිටෙන් ලකුණු ලබාගැනීමේ වේගය පිළිබඳ ගැටළුව ඉවත් කරගත් නවසීලන්ත කී‍්‍රඩකයෝ ක‍්‍රයිස්චර්ච් නුවර ‘හැග්ලි  ඕවල්’ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව අද (11 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලූ 3 ක විශිෂ්ට ජයක් අත්කර ගත්හ. පන්දු 96 කදී ලකුණු 81 ක් ලබාගත් කෝරී ඇන්ඩර්සන් නවසීලන් පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

පළමුව පන්දුවට පහර දෙමින් ශ‍්‍රී ලංකාව ලකුණු 218 ක් ලබාගත්තේය.

ලකුණු 219 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ඉනිමේ පළමු කඩුලූ 4 ලකුණු 77 කට බිඳ වැටී තිබූ මොහොතේ පිටියට පැමිණි ඇන්ඩර්සන් මීට වසරකට පෙර, 2014 වසරේ ජනවාරි 1වැනිදා වේගවත්ම එක්දින ශතකය වාර්තා කරමින් නවසීලන්තයට වසරේ පළමු එක්දින ජයග‍්‍රහණය අත්කර දුන් ආකාරයෙන්ම, නව වසරේ ඔවුන්ගේ පළමු එක්දින තරගයෙන් ද සිය කණ්ඩායමට අනගි ජයග‍්‍රහණයක් අත්කර දීමට සමත් විය.

පන්දු 22 කදී ලකුණු 51 ක් රැස් කරමින් මැකලම් සම කරනු ලැබුවේ ඒ වනවිටත් රෝස් ටේලර් හා එක්ව සම වාර්තාවට හිමිකම් කියමින් නවසීලන්තය වෙනුවෙන් රැස් කළ ඔහුගේම වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවයි.

තුන්වැනි පන්දුවේදීම මාටින් ගප්ටිල් ලකුණු නොලබා දැවී යාම නිසා තරගයේ වාසිය ශ‍්‍රී ලංකාව දෙසට හැරී තිබිණි. ඒ වන විටත් නවසීලන්ත ඉනිමට එක ලකුණක් හෝ එක්වී තිබුණේ නැත. එහෙත් 7000 කට අධික ක‍්‍රීඩාලෝලීන් පිරිස උද්දාමයට පත් කළ මැකලම් සිය වාර්තාගත පිතිහරඹයෙන් තරගයේ වාසිය එහෙම පිටින්ම සිය කණ්ඩායම දෙසට හරවා දැමුවේය.

ඔහුගේ පිතිහරඹයෙන් අන්දමන්ද වූ ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට සහනයක් නොදුන් ඇන්ඩර්සන් පළමුව ලූක් රොන්චි (17) සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 48 ක වටිනා සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර පසුව නොදැවී ලකුණු 25 ක් රැුස් කළ නේදන් මැකලම් සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 60 ක තීරණාත්මක සම්බන්ධතාවක් ගොඩනගා ගත්තේය.

තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී කෝරි ඇන්ඩසන් දැවීයන විට ජයග‍්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 10 ක් පමණි. පන්දු 96 කට මුහුණ දී ලකුණු 81ක් ලැබූ ඇන්ඩර්සන්ගේ ඉනිම හතරේ පහර 11 කින් සහ හයේ පහරකින් වර්ණවත් වීය. ඔහුගේ දැවීයාමෙන් පසුව නේදන් මැකලම් සමග එක්වූ ඇඩම් මිල්න්  ඕවර 7 ක් ඉතිරිව තිබියදී සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය සටහන් කළේය.

නවසීලන්ත වේගපන්දු යවන්නන්ගේ ආක‍්‍රමණශීලී පන්දු යැවීම හමුවේ සටන්කාමී පිතිහරඹයක යෙදුණු මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා ඉනිමේ නැංගූරමක් බවට පත්වෙමින් ලබාගත් විශිෂ්ට ශතකය මත ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 218 කින් සෑහීමකට පත්විය.

වසරකට අධික කාලයකට පසුව එක්දින පිටියට පිවිසි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (5) හා ශ‍්‍රී ලංකාවේ විශාලතම බලාපොරොත්තුව වූ කුමාර් සංගක්කාර (4) වේලාසනින්ම දැවීයාමෙන් ලකුණු 16 කට කඩුලූ 2 ක් වූ ලකුණු පුවරුව නැවත කෙළින් සිටුවන ලද්දේ මහේල ජයවර්ධන විසිනි.

කණ්ඩායම දැඩි පීඩනයකට ලක්ව සිටියදීත් ශී‍්‍ර ලංකා ඉනිමට ජීවයක් දුන් මහේල ජයවර්ධන ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 35 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්විය.

හොඳින් පන්දුවට පහරදෙමින් සිටියදී නේදන් මැකලම්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට උත්සාහ කළ හෙයින් ස්ටම්ප් කිරීමකට හසුවී ඩිල්ෂාන් ලකුණු 19 කට දැවීගියේය.  

නායක මැතිව්ස්ට වැඩිවේලා පිටියේ රැඳී සිටීමට හැකිවූයේ නැත. ඔහු දුවද්දී දැවීයාමට හසුවූයේ නොතිබූ ලකුණකට යාමේදී අනික් අන්තයේ සිටි මහේල ඔහු ආපසු හරවා යැවීමේදීය.  මැතිව්ස්ට වඩා බ්‍රෙන්ඩන් මැකලම් ඉක්මන් විය.

ළහිරු තිරිමාන්න සහ ජීවන් මෙන්ඩිස් සමග ඇතිකරගත් කෙටිකාලීන සම්බන්ධතා මත සිය එක්දින තරග ජීවිතයේ 18 වැනි ශතකය වාර්තා කළ මහේල ශී‍්‍ර ලංකා පිල ලකුණු 200 සීමාව දක්වා රැුගෙන ගියේය. ශී‍්‍ර ලංකා ඉනිමේ හොඳම සම්බන්ධතාව ගොඩනැගුණේ මහේල හා තිරිමාන්න අතරය. ලකුණු 82 කට කඩුලූ 4 ක් බිඳ වැටුණු මොහොතේ මහේල හා එක්වූ තිරිමාන්න පස්වැනි කඩුල්ලට ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට දායක විය.

ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට උත්සාහ කිරීමේදී මහේල දැවී ගියේය. ඉනිමේ 47 වැනි  ඕවරයේ දී ඔහු  ලකුණු 104 කට දැවී යනවිට පන්දු 107 කට මුහුණදී තිබූ අතර හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණි.

මහේල දැවී ගිය  ඕවරය ඉතා තීරණාත්මක එකක් බවට පත්වූයේ එම  ඕවරයේ දී ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 3 ක්ම බිඳ වැටීම නිසාය.

මිචෙල් මැක්ලෙනගන් යැවූ ඒ  ඕවරයේ දෙවැනි පන්දුවෙන් ජීවන් මෙන්ඩිස් (23) දැවී ගිය අතර මහේල දැවීගියේ සිවුවැනි පන්දුවෙනි. ඊළඟ පන්දුවෙන් තිසර පෙරේරා දවාගත් මැක්ලෙන්ගන්ට ඔහුගේ කඩුලූ ති‍්‍රත්වය වාර්තා ලබාගැනීමට සචිත‍්‍ර සේනානායකගෙන් අවසර නොලැබිණ.

තණකොළ සහිත හැග්ලි  ඕවල් පිටිය පෙනෙන ආකාරයට වඩා පිතිකරුවන්ට උචිත වනු ඇතැයි කල්පනා කළ ශී‍්‍ර ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය. එහෙත් පළමුව පන්දු යැවීමට ලැබීම හොඳ අවස්ථාවක් බව නවසීලන්ත පිලේ නායකයාගේ අදහස විය.

ලකුණු පුවරුව


අදහස් (1)

නවසීලන්තයට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.