Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය අවසන් පූර්ව වටයට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

නවසීලන්තය අවසන් පූර්ව වටයට

editorial - 2023 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ‍බෙංගලූරු නුවර සිට..)

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය රැකගනිමින් ‍අවසන් පූර්ව වටයට පිවිසෙන අවසන් කණ්ඩායම බවට පත්වීමට නවසීලන්තය සමත් විය. මූලික වටයේදී තරග 9 කට ක්‍රීඩා කළ නවසීලන්තය, අවසන් පූර්ව වටයට පිවිසියේ ඉන් තරග 5 ක් ජයගෙන 4 ක් පරාජය වී ලකුණු 10 ක් ලබාගනිමිනි.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදී ලැබූ ජයත් සමග සිය ලකුණු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ දමාගැනීමට නවසීලන්තය සමත් වුවද, ඔවුන්ට අවසන් පූර්ව වටයේ නිෂ්චිත ස්ථානයක් හිමිකර ගැනීම සඳහා ඇෆ්ඝනිස්තාන - දකුණු අප්‍රිකා තරගය මෙන්ම එංගලන්ත - පාකිස්තාන තරගයද නිමාවන තෙක් පසෙකට වී බලා සිටීමට සිදුවූහ.

ඊට හේතුව වූයේ දකුණු අප්‍රිකාව පරාජයට කිරීමට ඇෆ්ඝනිස්තානයත්, එංගලන්තය පරාජය කිරීමට පාකිස්ථානයත් සමත් වූවා නම් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාවන්ද 10 ක් දක්වා ඉහළ යන බැවිනි. එසේ වුවා නම් ඔවුන්ටද ශුද්ධ ලකුණු වේගය අනුව අවසන් පූර්ව වටයට පිවිසීමේ යම් අවස්ථාවක් තිබිණ,

කෙසේ වුවත් සිකුරාදා (10 වැනිදා) සහ සෙනසුරාදා (11 වැනිදා) පැවැති තරගවලදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාවත්, පාකිස්තානයට එරෙහිව ලකුණු 93 ක ජයක් ලැබීමට එංගලන්තයත් සමත් විය. එම තරගවලදී ලැබූ පරාජයන් හමුවේ ඇෆ්ඝනිස්ථානය සහ පාකිස්තානය අවසන් පූර්ව වටය කෙරෙහි තබා තිබූූ බලාපොරොත්තු ගිළිහී ගියේය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින ඉන්දියාව සහ සිවුවැනි ස්ථානයට පත්වූ නවසීලන්තය අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී එළබෙන 15 වැනිදා පැවැත්වීමට නියමිතය. ලකුණු සටහ‍නේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව ගැටෙන දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතව ඇත්‍තේ 16 වැනිදා කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදීය.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වුවද, මෙවර තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් අතරින් වඩාත් පෙරළිකාර කණ්ඩායම ලෙස ඇෆ්ඝනිස්ථානය හැඳින්විය හැකිය. ඊට හේතුව ලෝක කුසලාන තරගාවලියකදී පළමු වරට එංගලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඔවුන් සමත් වීමය. එපමණක් නොව ඔවුන් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වූයේද කඩුලු 3 කිනි.


අදහස් (0)

නවසීලන්තය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.