Last Update  :  2024-12-27 12:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය තලා දැමීමට එංගලන්තය සූදානම්

නවසීලන්තය තලා දැමීමට එංගලන්තය සූදානම්

editorial - 2024 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය වසර 17 කින් මෙපිට නවසීලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැත. එහෙත් දින දෙකක් පුරා නවසීලන්තය තලා පෙළා දමමින් සිටි එංගලන්ත ක්‍රීඩකයෝ වසර 17 ක අඩුව පුරවාගැනීමට සූදානමින් සිටිති. 

වෙලිංටන් නුවර බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (7 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 5 ක් අතැතිව ලකුණු 533 ක් ඉදිරියෙන් සිටියේ තරගයේ ඉතිරි දින තුනේදී  නවසීලන්තය තලා පෙළා සුන්නත්ධූලි කරදැමීමේ අරමුණ ඇතිවය. 

අද පෙරවරුවේදී නවසීලන්තය ලකුණු 125 කට දවාගත් බෙන් ස්ටෝක්ස් ඇතුළු එංගලන්ත කණ්ඩායම අද සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 378 ක් ලබා සිටියේය. 

එංගලන්තය මෙවන් ප්‍රබල තත්ත්වයකට කැඳවාගෙන ඒමට ක්‍රීඩකයෝ තිදෙනෙක් සුවිශේෂී ආකාරයෙන් සම්මාදම් වූහ. ගස් ඇට්කින්සන් කඩුලු ත්‍රිත්වයක් දවාගත් අතර තවමත් 21 හැවිරිදි ජේකබ් බෙතීල් සිය හොඳම පළමු පෙළ ඉනිම ක්‍රීඩා කළේය. ඒ අතරවාරයේදී ජෝ රූට් 100 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී ලකුණු 50 සීමාව පසුකර ගියේය. 

තරගයේ පළමු දිනය වූ ඊයේ සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 කට ලකුණු 89 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම අද පෙරවරුවේදී ලකුණු 125 කට දැවී ගියේය. නවසීලන්තයට එකම ලකුණක් හෝ ලබාගැනීමට අවසර නොදී අවසන් කඩුලු තුනම දවාගත් ගස් ඇටිකින්සන් කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කරද්දී එංගලන්තයට ලකුණු 155 ක මුල් ඉනිමේ වාසියක් හිමිවිය. 

තරගයේ දින තුන හමාරකටත් වැඩි කාලයක් ඉතිරිව තිබුණ නමුත් ‘බස්බෝල්’ පිතිහරඹයට පිවිසි එංගලන්ත පිතිකරුවෝ ඕවරයකදී ලකුණු 5 කට ආසන්න වේගයකින් ලකුණු ලබාගන්නට වූහ. තවමත් පළමු පෙළ ශතකයක් හෝ ලබා නැති යොවුන් පිතිකරු ජේකබ් බෙතීල්, හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කිරීමෙන් පසුව, ශතකය අත පොවන මානයේ තිබියදී දැවී ගියේය. හුක් පහර දෙකකින් පන්දුව නරඹන්නන් අතරට යැවූ බෙතීල්, ඩ්‍රයිව් සහ පුල් පහර ගැසීමේදීත් තමන් සතු නිපුණතාව මැනවින් ප්‍රදර්ශනය කළේය. 

දෙවැනි කඩුල්ල වෙනුවෙන් බෙන් ඩකට් (92) සහ ජේකබ් බෙතිල් (96) අතර පැවැති සම්බන්ධතාව ලකුණු 187 කි. කඩුලු 2 කට ලකුණු 200 ක් ලබා සිටියදීත් එංගලන්තයේ වාසිය ලකුණු 350 ඉක්මවා තිබිණ. එහෙත් ඔව්හු දිගටම පිතිහරඹයේ නිරත වූවද බෙන් ඩකට් ඉක්මනින් දැවී ගියේය. ජෝ රූට් (නොදැවී 73) සහ හැරී බෲක් (55) දෙදෙනාගේ වාරය එතැනින් ආරම්භ විය. 

මෙම තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකක ඉනිම 3 කදී හැරී බෲක් දැනට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 349 කි. ඊට ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වෙයි. එංගලන්ත දෙවැනි ඉනිම ඕවර 76 කින් සමන්විත වූවත් එහි එකම නොයිඳුල් ඕවරයක් හෝ නොවීය.
 
මීට වසර 10 කට පමණ ඉහතදී (එංගලන්ත පිලේ වත්මන් පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් නායකත්වය දැරූ සමයේදී) ඉන්දියාව හමුවේ කඩුලු 8 කට ලකුණු 680 ක් ලබාගත් නවසීලන්ත ක්‍රීඩකයෝ තරගය බේරා ගත්හ. 


එංගලන්තය - පළමු ඉනිම 280 යි
නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 125 යි

(ටොම් ලෙතම් 17, ඩෙවොන් කොන්වේ 11, කේන් විලියම්සන් 37, ටොම් බ්ලන්ඩ්ල් 16, ග්ලෙන් පිලිප්ස් නොදැවී 16, නේතන් ස්මිත් 14, ගස් ඇට්කින්සන් 31/4, බ්‍රයිඩන් කාර්ස් 46/4)

එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 5 ට 378 යි
(බෙන් ඩකට් 92, ජේකබ් බෙතීල් 96, ජෝ රූට් නොදැවී 73, හැරී බෲක් 55, ඔලී පෝප් 10, බෙන් ස්ටෝක්ස් නොදැවී 35, ටිම් සවුති 72/2, මැතිව් හෙන්රි 76/2)


- 213


අදහස් (0)

නවසීලන්තය තලා දැමීමට එංගලන්තය සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.