Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නායකයාගේ ධෛර්යය දඟ පන්දු යවන්නන්ගේ සාර්ථකත්වයයි

නායකයාගේ ධෛර්යය දඟ පන්දු යවන්නන්ගේ සාර්ථකත්වයයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රකට් ක‍්‍රීඩා කිරීම අභියෝග රැසකට මුහුණදීමට සිදුවන කරුණකි. පළමු වතාවට එරට සංචාරය කරන ක‍්‍රීඩකයකුට නම් එය තැති ගැන්වෙන ආකාරයේ අත්දැකීමක් ඇති කරවන්නකි.

1967-68 කාලයේ එරට සංචාරයක නිරතවූ අප කිහිපදෙනකුටම එවැනි අන්දමේ අත්දැකීමට මුහුණ පාන්නට සිදුවිය. ඒ වන විට අප විශිෂ්ට කණ්ඩායමක් නොවූවත්  ඉතා හොඳින් තරගයට අවතීර්ණ වීමේ හැකියාවක් අපට තිබිණි. එතෙර සංචාරවල දී අපගේ අභියෝගය වූයේ කණ්ඩායමක් ලෙස ඒවාට සාර්ථකව මුහුණදීමයි.

ඔස්ටේ‍්‍රලියාව ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම උචිත රටකි. එරට ජනතාව ක‍්‍රිකට් ක‍්‍රීඩාවට බෙහෙවින් ලොල්වූ පිරිසකි. විශේෂයෙන් මෙල්බර්න් වැනි ක‍්‍රීඩාංගණයක පළමුවරට ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයකුට ලැබෙන අත්දැකීම් එතරම් හොඳ ඒවා නොවේ.

එවැනි ක‍්‍රීඩාංගණයක හතරේ සීමාව අසළ ඔබ පන්දු රකින්නේ නම් උඩ පන්දුවක්  අතහැරියොත් හෝ පන්දුව නවත්වාගැනීමට අසමත්වුවහොත් ඔබට දෙවියන්ගේම පිහිටය.

එදා සංචාරයට එක්වූ අපගේ බොහෝ ක‍්‍රීඩකයන්ට අධ්‍යයනය කිරීමට බොහෝ දේ තිබිණි. අප එම තරගමාලාව 4-0 කින් පරාජයට පත්වූවත් එහිදී අපට ඉතා වැදගත් අත්දැකීම් සම්භාරයක් ලබා ගත හැකිවිය.

ඔස්ටේ‍්‍රලියාව යනු කි‍්‍රකට් කී‍්‍රඩාව ආරම්භයේ දීම කිසිවක් ග‍්‍රහණය කරගැනීමට නොහැකිවූවිට තරගමාලාව පුරාම මානසික කඩාවැටීමකට මුහුණ පාන්නට වන රටකි. මන්ද ඔබ ක‍්‍රීඩාවේ නිරතවන ආකාරය ගැන අවධානයකින් ඔවුන් පසුවන නිසාය.

දඟපන්දු යවන්නන්ට ඔස්ටේ‍්‍රලියාවේ දී සාර්ථක දස්කම් දැක්වීමට නොහැකි මන්දැයි මගේ නිරන්තර පැනය විය. ඇතැම් විය එහි තණතීරු දඟපන්දු යවන්නන්ට එතරම් සහයක් ලබා නොදෙනවා වන්නට පුළුවන. එහෙත් එහි දී පන්දුවේ තරමක ඉපිළීමක් ඔබට ලබාගත හැකිය. ඔබ උපායශීලී නම් ඊට වඩා කදිම අවියක් ඔබට තවත් නොමැති තරම්ය.

ඔස්ටේ‍්‍රලියාවේදී මා අධ්‍යයනය කළ වැදගත්ම කරුණ වූයේ අත්හදා බැලීම්වලින් ඈත්වී සිටීමයි. ඔබට කිසියම් ස්ථාවර පන්දුවක් තිබිය යුතුමය. මගේ කාලයේ අප විවිධ පන්දු වර්ග ලෙස හැඳින්වූයේ ‘දුස්රා’ හෝ ‘කැරම්’ පන්දු නොව පන්දුව පතිත කරන දුර ප‍්‍රමාණයේ සහ පන්දු යවන රේඛාවේ වෙනසයි.

රිචී බෙනෝ හා ෂේන් වෝන් වැනි විශිෂ්ට පන්දු යවන්නන් සිය භූමියේ දී ඉතා සාර්ථක දස්කම් දැක්වීමේ රහසද එය විය. ඔස්ටේ‍්‍රලියාවේ දී ඔබ නොකළ යුතු තවත් වරදක් තිබේ. එය මගේ පළමු සංචාරයේදීම අධ්‍යයනය කිරීමට මට හැකිවිය. එනම් කළබල නොවී සිටීමය.

ආසියානු උපමහාද්වීපය තුළ දී ඔබට කඩුල්ලක් දවාගැනීම තවත් කඩුලූ දෙකක් බිඳ දැමීමට අවස්ථාව උදා කළත් ඔස්ටේ‍්‍රලියාවේ දී ඔබට පිතිකරුවකුගේ දුර්වලතාවක් ලැබෙන තුරු  ඉවසා සිටීමට සිදුවෙයි.

මගේ යුගයේ දී මා පන්දු යැවූ හොඳම පිතිකරුවා ඉයන් චැපල්ය. අප දෙදෙනාම එකිනෙකා පරයා ඉස්මතුවීමට ගත් උත්සාහය මට මහත් ප‍්‍රීතියක් විය. ඔහු කිසිවකුට බුරුළක් නොදෙන අතරම ප‍්‍රතිවාදීන්ගේ සිත කියැවීමට ද රුසියෙකි.

1967-68  ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් ලැබූ අත්දැකීම් අපට 1977-78 තරග සංචාරයට ඉමහත් වාසි ගෙන දුන්නේය. එම සංචාරයේදීත් අප 2-3 කින් තරගමාලාව පරාජයට පත්වූවත් අපගේ කණ්ඩායම අතිවිශිෂ්ට සටනක නිරත විය.

කලින් සංචාරයේ ටෙස්ට් තරග හතරම පරාජය වුවත් 1977-78 තරගාවලියේදී අපි තරග දෙකක් ජයගත්තෙමු. මමත්, චන්ද්‍රත් (බී. එස්. චන්ද්‍රසේකරන්) හා බිෂ් (බිෂන් බෙඞී) දඟපන්දු යවන්නන් වශයෙන් ඒ සංචාරයේදී එක්ව කී‍්‍රඩා කළෙමු. ඒ වනවිට අප තිදෙනාම පිතිකරුවන් පාලනය කරගැනීමට සමත් තරමේ ඉහළ දස්කම් පෙන්වූයෙමු.

අප තිදෙනාගේ සාර්ථකත්වයට හේතුව වූයේ ආක‍්‍රමණශීලී මනසකින් යුතුව පන්දු යැවීමයි. එය අපගේ නායකයා අපෙන් බලාපොරොත්තු වුවාටත් වැඩියෙන් තිබිණි.
ලකුණු ලබාගැනීමේ වේගය පහළ දැමීමේ අරමුණින් ඔහු (නායකයා) ආරක්ෂාකරී පිටියක් සකස් කරන්නේ නම් පළමු පන්දුව යැවීමටත් පෙර ඔබ මානසිකව ශක්තිමත් වෙයි. අභියෝගය වැඩි කරමින් පිතිකරු සමීපයට පන්දු රකින්නන් ගෙන ඒමත් ඔබට ආක‍්‍රමණශීලී ලෙසින් පන්දු යැවීමට හැකියාව ලැබීමට කරුණකි.

(එක්නාත් සොල්කාර් පිතිකරුවා අසලින්ම සිටිමින් ඇදහිය නොහැකි උඩපන්දු රැකගත්තේ මෙම කාලවකවානුවේදීය)

මෙල්බ්ර්න් හී දී අප ලැබූ ජයග‍්‍රහණය  විශේෂ මතකයකි. ඒ වනවිට ටෙස්ට් තරග 2 ම පරාජයට පත්ව සිටි අප මෙල්බර්න් හී පැවැති තුන්වැනි තරගය ජය ලැබීමට තරම් ධෛර්යසම්පන්න කණ්ඩායමක් බවට පත්ව සිටීයෙමු.

මේ දිනවල ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීයා කණ්ඩායමද ඒ හා සමානව දස්කම් දක්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔවුන්ට එය කළ හැකිය.

ඉන්දීය පිල එංගලන්තයේ දී පරාජයට පත්වූවද සමස්තයක් ලෙස ගත් විට කණ්ඩායමේ සමතුලිතභාවය ඉතා හොඳය.

මම ඉන්දීය කණ්ඩායම තෝරා ගන්නේ නම් අනිවාර්යයෙන්ම දඟපන්දු යවන්නන් දෙදෙනකු සමග වේගපන්දු යවන්නන් තිදෙනකු තෝරා ගනිමි. එවිට රවිචන්ද්‍රන් අශ්වින් වැනි හොඳින් පිත්ත හැසිරවිය හැකි දඟපන්දු යවන්නකුට කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස විශාල මෙහෙවරක් කළ හැකිය.

ආක‍්‍රමණශීලී දඟපන්දු යවන්නන් දෙදෙනකු සිටිම නායකයාට ඉනිම මැද  ඕවරවල දී ඇතැම් විට දෙවැනි නව පන්දුව ලබාගන්නා තුරු මහත් සහනයක් ගෙන දෙනු ඇත. දඟපන්දු යවන්නන් සාර්ථක වන්නේ නායකයා ඔවුන්ට අවශ්‍ය නිදහස දුන් විට පමණි. වේගපන්දු යවන්නන් හොඳින් සිය කාර්යය ඉටු කළත් දඟපන්දු යවන්නන්ටද ඒ හා සමාන දස්කම් දැක්විය හැකිය. ඉන්දියාවට සාර්ථක වීමට නම් ඔවුන් වැදගත් භූමිකාවකට පණ පෙවිය යුතුය.


පරිවර්තනය : මොහාන් ප‍්‍රනාන්දු

විස්ඩන් ශී‍්‍ර ලංකා අනුග‍්‍රහයෙනි


අදහස් (1)

නායකයාගේ ධෛර්යය දඟ පන්දු යවන්නන්ගේ සාර්ථකත්වයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.