Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාලන්දීයයෝ සුලෝහිත සංග්‍රාමය ජය ගනිති

නාලන්දීයයෝ සුලෝහිත සංග්‍රාමය ජය ගනිති

editorial - 2022 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 92 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ මහ ක්‍රිකට් තරග‍යෙන් කඩුලු 9 ක ජයක් ලැබූ නාලන්දා විදුහල ‘ආචාර්ය එන්.එම්. පෙරේරා’ අණුස්මරණ කුසලාන දිනාගැනීමට සමත් විය. නාලන්දා විදුහල සුලෝහිත සංග්‍රාමය ජයගත් 7 වැනි අවස්ථාව මෙය වූ අතර ඔවුන් ඊට හිමිකම් කීවේ වසර 69 කට පසුව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

ආනන්ද විදුහල 2003 වසරේදී සුලෝහිත සංග්‍රාමය ජයගත් අතර ඉන් අනතුරුව පැවැති සියලුම තරග ජය පැරදුමෙන් තොරව අවසන් වීම හේතුවෙන් මේ දක්වා ‘ආචාර්ය එන්.එම්. පෙරේරා’ අණුස්මරණ කුසලාන ඔවුන් සතුව පැවතිණ. කෙසේ වුවත් මෙම තරගයේදී ලැබූ ජයග්‍රහණයත් සමග නැවත වරක් එම කුසලාන තමන් සතුකරගැනීමට නාලන්දීයයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 31 ක ඉලක්කයක් හඹාගිය නාලන්දා ක්‍රීඩකයෝ ඕවර 5.2 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. පුලිඳු කිරිඇල්ල යැවූ නාලන්දා දෙවැනි ඉනිමේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ රවීන් ද සිල්වා සිය කණ්ඩායමේ එ‍ෛතිහාසික ජයග්‍රහණය තහවුරු කළේය.

පළමු ඉනිමේදී නාලන්දා විදුහලට වඩා ලකුණු 150 ක් පසුපසින් සිටීම හේතුවෙන් පිට පිටම දෙවැනි වැනි වරටත් පන්දුවට පහරදීමට සිදුවූ ආනන්ද විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. ආනන්ද දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හංසජ ජයසිංහ පන්දු 85 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 48 ක් රැස්කළේය.

පළමු ඉනිමේදී කඩුලු 3 ක් දවාගත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක රවීන් ද සිල්වා, දෙවැනි ඉනිමේදීද ආනන්ද පිතිකරුවන්ට හිසරදයක් වෙමින් ලකුණු 80 කට කඩුලු 4 ක් දවාගත්තේය. පළමු ඉනිමේදී කඩුලු 4 ක් දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක විනුජ රන්පුල් දෙවැනි ඉනිමේදී ලකුණු 40 කට කඩුලු 2 ක් බිඳහෙළමින් ආනන්ද පිතිකරුවන් අසරණ කිරීම සඳහා රවීන්ට අනගි සහායක් දුන්නේය.

විනු‍ජගේ සහ රවීන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ආනන්ද විදුහලේ පළමු ඉනිම ලකුණු 139 කට සීමා විය. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඉරුත් ගිම්ෂාන් පන්දු 106 කදී නොදැවී ලකුණු 70 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. ශක්ති උදාර (21) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉරුත් සමත් විය.

කාසියේ වාසිය දිනූ ආනන්ද විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා විදුහල, කඩුලු 9 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ චනුල් අතුකෝරල පන්දු 89 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 88 ක් රැස්කරමින් සිය කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

එරංග ජයකොඩි (23) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චනුල්, ඉන් නොනැවතී දිනෙත් සමරවීර (33) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 41 කදී වාර්තා වූ එරංගගේ ඉනිම හතරේ පහර 3 කින්ද, පන්දු 27 කදී වාර්තා වූ දිනෙත්ගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්විත විය. රවීන්ද ද සිල්වා පන්දු 49 කදී ලකුණු 40 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ‍


නාලන්දා විදුහල් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 289
(රුසිරු විලෝචන 25, යසිරු සමරකෝන් 23, විනුජ රන්පුල් 23, රවීන් ද සිල්වා 40, කුෂ්මිත සිල්වා 17, චනුල් අතුකෝරල 88, එරංග ජයකොඩි 23, දිනෙත් සමරවීර 33, ශක්ති උදාර 90/5, පුලිඳු කිරිඇල්ල 57/3)

ආනන්ද විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 139
(නෙත්ම කරුණාරත්න 16, ඉරුත් ගිම්ෂාන් නොදැවී 70, ශක්ති උදාර 21, විනුජ රන්පුල් 33/4, රවීන් ද සිල්වා 33/3)

ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 180
(ලක්ෂිත කුලරත්න 32, නුෂාල් ධර්මරත්න 14, නෙත්ම කරුණාරත්න 15, මිනෙත් ප්‍රේමරත්න 23, හංසජ ජයසිංහ 48, ශක්ති උදාර 14, ටෙහාන් පෙරේරා 17, රවීන් ද සිල්වා 80/4, විනුජ රන්පුල් 40/2)

නාලන්දා විදුහල් දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 31
(රවීන් ද සිල්වා නොදැවී 15)

(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

නාලන්දීයයෝ සුලෝහිත සංග්‍රාමය ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.