Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවික හමුදාවේ ස්ථානය හැව්ලොක්ස් අත

නාවික හමුදාවේ ස්ථානය හැව්ලොක්ස් අත

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් ලීග් තරගයෙන් ලකුණු 50-28 ක ජයක් අත්කර ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අනුශූරතාවට අත තැබීමට සමත්විය. එසේ වුවත් එය නිශ්චිත ලෙසම නැවියන්ට හිමිවන්නේදැයි තීරණය කෙරෙන්නේ හෙට (11 වැනිදා) මහනුවර පිල සමග පැවැත්වෙන තරගයේදී දැනට දෙවැනි තැන සිටින හැව්ලොක්ස් පිලේ දස්කම් අනුවය.

අනුශූරතාව දිනාගැනීමට නම් හෙට තරගයේදී මහනුවර පිලේ අපරාජිත බව බිඳ දමමින් ප්‍රසාද ලකුණක් ද සහිතව තරගය ජයැගනීමට හැව්ලොක්ස් පිලට සිදුවී තිබේ. තරගයෙන් පරාජයට පත්වූවා නම් සිවුවැනි තැන දක්වා පල්ලම් බැසීමට හැව්ලොක්ස් පිලට සිදුවනු ඇත.

ප්‍රසාද ලකුණක් ද ඩැහැගනිමින් උපරිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තබා තරගය ජයගැනීමේ වාසිය ඊයේ හොඳින්ම දැන සිටි නැවියන්ගේ ආක්‍රමණයට ගුවන් හමුදාව ගොදුරු විය.

රත්මලානේදී ඊයේ (9 වැනිදා) පැවැති මේ තරගයේදී නාවික හමුදාව උත්සාහක දිනුම් 7ක්ම තැබුවේය.  ඉන් 6 ක්ම ගෝල බවට ප්‍රවර්තනය කළ තිළිණ වීරසිංහ උත්සාහක දිනුම් දෙකක්ම තැබූ අතර තවත් දඬුවම් පහරකට හිමිකම් කියමින් තරගයේ නැවියන් රැස් කළ ලකුණු ප්‍රමාණයෙන් හරි අඩකම අයිතිකාරයා විය.

තරගාවලිය පුරාම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වී සිටින නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ වීරසිංහ ඊයේ  දැක්වූ දස්කම් නිසා තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම්ලාභියා මෙන්ම වැඩිම සමස්ත ලකුණු ලාභියා ලෙසත් ඉදිරියෙන් සිටී.

දුලාංජන විජේසිංහ තැබූ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ නැවියන්ට අභියෝග කළ ගුවන් හමුදා පිල කෞෂාල් මනුප්‍රිය තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ චරිත් සෙනෙවිරත්න අනතුරුව දඬුවම් පහරකුත් සාර්ථක කිරීම නිසා ලකුණු 10-5කින් පෙරමුණ ගත්තේය.

එහෙත් ඊට මිනිත්තු කිහිපයකට පසුව යළි තරගයේ පාලනය සියතට ගත් නැවියෝ මොහොමඞ් අබ්සාල් පිට පිට තැබූ උත්සාහක දිනුම් ද්විත්වය නිසා ලකුණු 19-10 කින් ඉදිරියට ගියහ. එම උත්සාහක දිනුම් දෙකම තිළිණ වීරසිංහ විසින් ගෝල බවට ප්‍රවර්තනය කරනු ලැබිණ.

තරගයේ  පළමු භාගය නිමාවනවිට නාවික හමුදා පිල ලකුණු 22-16 කින් පෙරමුණ ගත්තේ තිළිණ වීරසිංහ දඬුවම් පහරකුත් සාර්ථක කිරීමෙන් පසුවය. ඒ අතරතුර චරිත් සෙනෙවිරත්න දඬුවම් පහර දෙකක් සාර්ථක කරමින් ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

එහෙත් දෙවැනි භාගයේදී සිය ආක්‍රමණශීලීත්වය තවත් වැඩි කළ නාවික හමුදා පිල 62 සහ 67 මිනිත්තුවලදී කසුන් ද සිල්වා පිට පිට තැබූ උත්සාහක දිනුම් 2ක් නිසා ලකුණු 36-16කින් ඉදිරියට ගියේය.

අවසන් මිනිත්තු 10දී දෙපිලම කරට කර සටනක නිරතවීම කැපී පෙනුණි. ඒ මිනිත්තු දහයේදී දෙපිලම උත්සාහක දිනුම් 2 බැගින් තැබීමට සමත්විය. තරගයේ 70 වැනි මිනිත්තුවේදී මොහොමඞ් අබ්සාල් සිය දෙවැනි උත්සාහක දිනුමත්, 73 වැනි මිනිත්තුවේදී තිළිණ වීරසිංහ සිය දෙවැනි උත්සාහක දිනුමත් තැබුවේය. එම දිනුම් දෙකම ගෝල බවට පත් කිරීමට තිළිණ වීරසිංහ සමත්වීමත් සමග ලකුණු 50-16කින් ජයග්‍රහණය තහවුරු කරගැනීමට නැවියෝ සමත්වූහ.

තරගයේ 75 වැනි මිනිත්තුවේදී චරිත් සෙනෙවිරත්නත්, අවසන් මිනිත්තුවේදී රුමේෂ් රාම්දාසුත් උත්සාහක දිනුම් තැබීමට සමත්වූවත් නැවියන්ගේ ජයග්‍රහණයට එය බලපෑවේ නැත.

නාවික හමුදා - ගුවන් හමුදා ඩයලොග් ලීග් රග්බි තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - වරුණ කරුණාසේකර


අදහස් (0)

නාවික හමුදාවේ ස්ථානය හැව්ලොක්ස් අත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.