Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේමාර්ට ශල්‍යකර්මයක්

නේමාර්ට ශල්‍යකර්මයක්

ශනුක අරවින්ද - 2018 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලය සතු විශිෂ්ටතම ප්‍රහාරකයා වන නේමාර්ගේ පාදයක ශල්‍යකර්මයක් කිරීමට සිදුව තිබෙන බැවින් ඉදිරියේ එන මාස තුනක පමණ කාලයක් ඔහුට පාපන්දු පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය හැකි බව බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍යවරයා පවසයි.

පැරිස් ශාන්ත ජර්මෙන් (පී.එස්.ජී.) ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන නේමාර් ප්‍රංශයේ වෘත්තීය පාපන්දු ලිගයට ක්‍රීඩා කරයි. පසුගිය ඉරිදා මාර්සේල් පිලට එරෙහිව පැවැති තරගයේදී නේමාර් සිය දකුණු පාදයේ අස්ථි පිපිරීමකට මුහුණ දුන්නේය. තරගයෙන් පී.එස්.ජී. ක්‍රීඩා සමාජය ජයගත් නමුත් නේමාර්ට දින කිහිපයක විවේකයක් ලැබිණ.

විවිධ ආකාරයේ පරීක්‍ෂණ සහ විකල්ප සලකා බැලීමෙන් පසුව පී.එස්.ජී. බලධාරීන් අවසන් මොහොතේදී තීරණය කළේ ලෝකයේ වඩාත්ම මිලැති ක්‍රීඩකයාගේ පාදයට සැත්කමක් කිරීම හැර වෙනත් විකල්පයක් නැති බවයි. තීරණයෙන් පසුව නේමාර් ආපසු සියරට බලා ගියේ ශල්‍යකර්මයකට මුහුණදීමේ අටියෙනි.

මේ වන විට ප්‍රංශ ලීග් තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ පී.එස්.ජී. කණ්ඩායමයි. පී.එස්.ජී. පිලට එක්වූ දා පටන් මේ දක්වා පැවැති තරග 30 කට සහභාගි වූ නේමාර් එම තරග 30 දී ගෝල 25 ක් ලබාගත්තේය.

මෙම සැත්කම හේතුවෙන් ලබන සතියේදී පැවැත්වෙන ශූරයන්ගේ ලීග් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගය නේමාර්ට අහිමි වෙයි.

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර ගුවන්තොටුපොළේදී නේමාර් බාරගත් බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍ය රොඞ්රිගෝ ලස්මාර් ප්‍රකාශ කළේ තත්ත්වයේ හැටියට වෙන කළ හැකි කිසිවක් නැති බවයි. මේ වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට යන්තම් සති දෙකකට කලින්, එනම් ජූනි මාසයේදී,  නැවතත් පාපන්දු පිටියට පැමිණීමට නේමාර්ට අවස්ථාව ලැබෙනු ඇති බවද වෛද්‍ය රොඞ්රිගෝ මහතා පැවසීය.

“නේමාර්ටත් කණගාටුයි තමා. ඒත් ඔහුව හැකි ඉක්මනින් තරග සඳහා සූදානම් කිරීමට අපි උත්සාහ ගන්නවා” යයිද වෛද්‍ය රොඞ්රිගෝ මහතා පැවසීය.

මේ වන විට පස්වතාවක් ලෝක කුසලාන ජයගෙන ඇති බ්‍රසීල කණ්ඩායම 2018 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන්නේ ස්විට්සර්ලන්ත පිලට එරෙහි තරගයෙනි. එම තරගය ජූනි මස 17 වැනිදා රුසියාවේ සොචී නුවරදී පැවැත්වෙයි.

 


අදහස් (0)

නේමාර්ට ශල්‍යකර්මයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.