Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇතැම් අය විරෝධතා මතු කළත් මීටර 800 (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අන්තර් ජාතික මලල ක‍්‍රීඩා සංගමය නිල වශයෙන් පිළිගෙන අවසන් බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා පවසයි.
කොළඹ දී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවක දී සුගත් තිලකරත්න මහතා පැවැසුවේ නිමාලි ලියනආරච්චි විසින් යාපනයේදී පිහිටු වූ මීටර 800 (කාන්තා) ඉසව්වේ නව ශ්රී ලංකා වාර්තාව අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙන බවයි.
යාපනය ”දොරේ අප්පා” ක‍්‍රීඩාංගණයේදී නිමාවට පත් වූ 42 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ දී නිමාලි ලියනආරච්චි විනාඩි 2 තත්පර 3.50කට මීටර 800 (කාන්තා) ඉසව්වේ නව ශ්රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූවාය.
ඒ 1992 ”බාසිලෝනා” ඔලිම්පික් උළෙලේදී ධම්මිකා මැණිකේ විනාඩි 2 තත්පර 3.85කට පිහිටුවා තිබූ එහි පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමිනි. එහිදී දෙවැනි ස්ථානයට පත් ගයන්තිකා අබේරත්න ද පැරණි ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යමින් (විනාඩි 2 තත්පර 3.70) දස්කම් දැක්වූවාය.
කෙසේ වුවත් ”දොරේඅප්පා” ක‍්‍රීඩාංගණයේ තණකොළ සහිත ධාවන පථයකදී නිමාලි ලියනආරච්චි පිහිටු වූ නව ශ්රී ලංකා වාර්තාව පාදක කර ගත්තේ අත්කාලඝනක යන්ත‍්‍ර යොදා ගනිමින් බැවින් නව වාර්තාවේ නිවැරදිතාවය පිළිබඳව ගැටළු පවතින බවට එහි හිටපු ශ්‍රී ලංකා වාර්තාලාභිණී ධම්මිකා මැණිකේ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට විරෝධතාවයක් බාරදෙමින් කියා තිබුණි.
මේ වනවිට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියද ඇගේ සහයට පැමිණෙමින් කියා සිටියේ නව ශ්රී ලංකා වාර්තාව පිළිගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
නව ශ්රී ලංකා වාර්තාව පිළිගැනීමෙන් පසුව උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා මලල ක‍්‍රීඩා සංගමය ඊයේ මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
එහිදී සුගත් තිලකරත්න මහතා මෙසේ ද පැවැසීය. ”මේ සම්බන්ධයෙන් සුසන්තිකා ජයසිංහත් ධම්මිකා මැණිකේත් නගන චෝදනා පදනම් විරහිතයි. නිමාලිගේ නව ශ්රී ලංකා වාර්තාවේ නීත්‍යානුකුලභාවයට කිසිදු ගැටළුවක් පැන නැගී නෑ.
ඇතැම් අය දොරේඅප්පා ධාවන පථය යළි මනින්න ඕනෑ කියනවා. මලල ක‍්‍රීඩා සංගමයට එහෙම කිසිම ගැටළුවක් පැන නැගිලා නෑ. දැන් මේ නව ශ්රී ලංකා වාර්තාව ලෝකයම පිළිගෙන අවසන්.
එහෙම තියෙද්දී මලල ක‍්‍රීඩා සංගමයේ ප‍්‍රධානීන් නැති තැන්වලදී සුසන්තිකා චෝදනා නැගීමට ඉදිරිපත්වීම වැරදියි.
මෙම මාධ්‍ය හමුව ඇමතූ 42 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අන්තර් ජාතික මලල ක‍්‍රීඩා තාක්ෂණ නිලධාරි පී.එච්.ඞී. වෛද්‍යතිලක මහතා පැවැසුවේ අන්තර් ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ තාක්ෂණික කමිටුවේ සභාපති ඇතුළු ලොව ඉහළම මලල ක‍්‍රීඩා තාක්ෂණික ප‍්‍රවීනයන් ගණනාවකගෙන්ම තමන් ඒ පිළිබඳව කරුණු විමසීම් කළ බවයි.
ඒ අනුව මීටර 800 ඉසව්ව සඳහා විද්‍යුත් කාලඝනක යන්ත‍්‍ර වෙනුවට අත්කාලඝනක යන්ත‍්‍ර පාවිච්චි කිරීමේ කිසිදු වරදක් නැතැයි ඔවුන් අවධාරණය කර සිටි බවත් නව ශ්රී ලංකා වාර්තාව පිළිගැනීම හෝ අභියෝගයට ලක් කිරීම ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයට පමණක් හිමි කාර්යභාරයක් බව ඔවුහු පෙන්වා දුන් බවත් වෛද්‍යතිලක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
ඒ අනුව නිමාලිගේ නව ශ්රී ලංකා වාර්තාව පිළිගෙන අවසන්ව ඇති බැවින් තවදුරටත් ඒ ගැන තර්ක කිරීමෙන් පලක් නොවන බවත් ඔහු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.