Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන්...

පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන්...

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගය විසදුමකින් තොරව අවසන් විය.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (04)  ඕවර 15 ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කරන විට පාකිස්තානය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 158 ක් ලබා සිටියේය.

අද දිනයේ ශ‍්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 480 ක් ලබා පාකිස්තානයට ලකුණු 302 ක ඉලක්කයක් බාර කළේය. ශ‍්‍රී ලංකාව පෙවරුවේ  ඕවර 20.3 ක් පන්දුවට පහර දෙමින් තවත් ලකුණු 60 ක් රැස්කර දිවා විවේකයට පෙර ඉනිම අත්හිටුවීය.

මෙම ලකුණු 480 ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉනිමකදී රැුස්කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. ශ‍්‍රී ලංකාව මීට පෙර 2006 වසරේ එංගලන්තයට එරෙහිව ලෝඞ්ස්හිදී ලකුණු 537 ක් ද, 2011 වසරේ පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී ලකුණු 483 ක් ද, රැස්කර තිබේ.

ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම අත්හිටුවන විට ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 157) සහ ප‍්‍රසන්න ජයවර්ධන (නොදැවී 63) හයවැනි කඩුල්ල සදහා ලකුණු 156 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා පිල ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන ඉනිමක් ක‍්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් පාකිස්තානය අත පොවන මානයට ගෙන තිබූ තරගය ශ‍්‍රී ලංකාව වෙතට සමීප කිරීමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් සිය ක‍්‍රිකට් දිවියේ සාර්ථකම ඉනිම ලෙස පන්දු 343 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 157 ක් රැස් කළේය. මැතිව්ස් සිවුවැනි දිනයේ පළමු පන්දුවේ සිට මිනිත්තු 457 ක් කඩුල්ලේ රැදී සිටීම කැපී පෙනුණි.

වසරකට පමණ පසු කණ්ඩායමට පැමිණ අනගි ඉනිමක් ක‍්‍රීඩා කළ ප‍්‍රසන්න ජයවර්ධන පන්දු 169 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 63 ක් රැස් කරමින් ශ‍්‍රී ලංකා පිලේ සාර්ථකත්වයේ දැවැන්ත චරිතයක් බවට පත්විය.

කෙසේ වෙතත් තණතීරුව හැසිරුණු ආකාරය අනුව ශ‍්‍රී ලංකා පිල ඉනිම අත්හිටුවීම එතරම් සාර්ථක තීරණයක් නොවූ අතර පාකිස්තානු පන්දු යවන්නන්ට එරෙහිව පුහුණු සැසියක් බවට තරගය පරිවර්ථනය කිරීමට තිබූ අවස්ථාව ඒ හේතුවෙන් අහිමි විය. එම තීරණයත් සමග පාකිස්තානු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ පුහුණු තරගයක් බවට තරගය පරිවර්ථනය විය.

සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්ට ද්විත්ව ශතකය දක්වා යෑමේ අවස්ථාව ද ඉනිම අත්හිටුවීමත් සමග අහිමිවිය.

තරගය අවසන් වන විට මොහොමඞ් හෆීෂ් නොදැවී ලකුණු 80 ක් රැස් කර සිටියේය.
පාකිස්තානු දෙවැනි ඉනිමේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 101 කට සීමා කරමින් අහ්මඞ් ශෙෂාඞ් ලකුණු 55 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.

පාකිස්තානු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුරාම් මන්ෂූර් ලකුණු 8 ක් ලබා සුරංග ලක්මාල්ගේ පන්දුවකට දැවී ගියේය.

දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 8 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

 

ලකුණු පුවරුව

තවත් සේයාරූ මෙතැනින්....


අදහස් (1)

පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන්...

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.