Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු පෙළ ක්‍රිකට් තරග සති 7 කින් කල් දමයි

පළමු පෙළ ක්‍රිකට් තරග සති 7 කින් කල් දමයි

editorial - 2023 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එළඹෙන මාස දෙකක කාලය තුළ පැවැත්වීමට නියමිත නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලිය, ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සහ එල්.පී.එල්. තරගාවලිය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙමින් තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සති 7 කින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. 

එම තරගාවලියේ තෙවැනි සතියේ තරග මෙම මස 9 වැනිදායින් නිමාවට පත් වූ අතර සිවුවැනි සතියේ තරග අගෝස්තු මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතය. එතැන් පටත් සෑම සති අන්තයකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල තරග පැවැත්වෙනු ඇත. තරගාවලිය සති 11 කින් සමන්විත වේ. 

මුල් සති 3 අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කොටසේ පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයත්, ‘බී’ කොටසේ පෙරමුණ ගැනීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයත් සමත් විය. කෝල්ට්ස් පිල තරග 2 ක් ජයගෙන සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන ඇති අතර ඒස් කැපිටල් පිල තරගයක් ජයගෙන සෙසු තරග දෙක ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ. 

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ඇන්ජලෝ මැතිව්ස් සහ අකිල ධනංජය සමත්ව සිටිති. ඉනිම් 4 කදී ශතක 3 ක් සමග ලකුණු 467 ක් රැස්කිරීමට මැතිව්ස් සමත්ව ඇති අතර ඉනිම් 6 කදී කඩුලු 5 කට වැඩියෙන් දවාගත් අවස්ථා 4 ක් සමග කඩුලු 32 ක් බිඳහෙළීමට ධනංජය සමත්ව ඇත.

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලිය මෙම මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වාද, ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය මෙම මස 11 වැනිදා සිට 28 වැනිදා දක්වාද, එල්.පී.එල්. තරගාවලිය මෙම මස 30 වැනිදා සිට අගෝස්තු මස 21 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතය. 


අදහස් (0)

පළමු පෙළ ක්‍රිකට් තරග සති 7 කින් කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.