Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශ පාපැදි සවාරියත් කල්යයි

ප්‍රංශ පාපැදි සවාරියත් කල්යයි

editorial - 2020 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ පැතිරීම හේතුවෙන් ලොව ජනප්‍රියම පාපැදි සවාරිය වන ප්‍රංශ සවාරිය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව තිබේ. කොරෝනා වසංගතය නොතකා සැලසුම් කළ පරිදි ප්‍රංශ පාපැදි සවාරිය ඉදිරියට ගෙනයා හැකි වනු ඇතැයි සති ගණනාවක් පුරා බලාපොරොත්තු තබා සිටියද අවසානයේදී සංවිධායකයන්ට සිදුවූයේ එය දින නියමයකින් තොරව කල්දැමීමටයි.
 
සති තුනක් පුරා පැවැත්වෙන මෙම පාපැදි සවාරිය ජුනි මස 27 වැනිදා නයිස්හි රිවීරා නගරයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණ.
 
විශාල ජනකායක් රැස්වන සියලුම පොදු වැඩසටහන් අවම වශයෙන් ජූලි මැද වන තෙක් අවලංගු කර ඇති බව දැනුම් දීම සඳහා ඉකුත් සඳුදා ජාතිය අමතා කළ කතාවේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා, පාපැදි සවාරිය කල්දැමීමට ගත් තීරණය ද දැනුම් දුන්නේය.
 
“පාපැදි සවාරිය සැලසුම් කළ දින සිට ආරම්භ කිරීම දැන් කළ නොහැක්කක්. එය පැවැත්වීම සඳහා නව දිනයන් සොයා ගැනීමට අපි ජාත්‍යන්තර පාපැදි සංගමය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.” යැයි සවාරියේ සංවිධායකයෝ අඟහරුවාදා (14 වැනිදා) පැවසූහ.
 
මින් පෙර ප්‍රංශ පාපැදි සවාරිය නොපවත්වන ලද්දේ 1946 වසරේදීය. ඒ දෙවැනි ලෝක යුද්ධයෙන් ඇතිවූ බලපෑම හේතුවෙනි.
 
පළමු ලෝක යුද්ධ සමයේදීද සවාරිය නොපැවැත්විණ. ලොව විශාලතම පාපැදි සවාරිය වන ප්‍රංශ පාපැදි සවාරිය යළිත් වරක් මුළුමනින්ම අහෝසි කර දැමිය හැකි වුවද, සංවිධායකයෝ එය පැවැත්වීම සඳහා පසු දිනයන් ගැන සාකච්ඡා කරමින් සිටිති.
 
ඒ අනුව ජාත්‍යන්තර පාපැදි සංගමය සමග පවතින සාකච්ඡාවලින් අනතුරුව අප්‍රේල් මස අවසානයට පෙර නව සැලසුම් ප්‍රකාශයට පත් කළ හැකිවනු ඇතැයි එහි සංවිධායක අමෝරි ක්‍රීඩා සංවිධානය පවසයි. මේ වසරේ ප්‍රංශ පාපැදි සවාරියට අදියර 21 ක් අන්තර්ගත වන අතර ඉන් දිගම අදියර කිලෝමීටර් 218 කින් (සැතපුම් 135 කින්) සමන්විත වේ.
 
මාර්ග දෙපස සහ කඳුකර පෙදෙස්වල ප්‍රේක්ෂකයන් නොමැතිව පාපැදි සවාරිය පැවැත්වීම සඳහා ප්‍රංශ ක්‍රිඩා අමාත්‍ය රොක්සානා මර්සිනියානු මහත්මිය මින් පෙර යොජනා කළද ඊට සංවිධායකයෝ එතරම් කැමැත්තක් නොදැක්වූහ.
 
වසරක් පාසා ප්‍රංශයේ සෑම කලාපයකම මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉතා උත්සවාකාරයෙන් මෙම පාපැදි සවාරිය නැරඹීම සඳහා රැස්වෙති. එහිදී ප්‍රේක්ෂකයන් පාලනය කර ගැනීමට සහ තරගකරුවන්ට ආරක්ෂිතව ගමන් කිරීම සඳහා ඉඩ ලබාදීමට පොලිස් නිලධාරීන් දහස් ගණනක් අවශ්‍ය වනු ඇත.‍
 
මෙම අතිශය වෙහෙසකර සවාරියට මුහුණ දීම සඳහා තරගකරුවන්ද ශාරීරිකව මෙන්ම මානසිකවද සූදානම් විය යුතුය. එහෙත් සති ගණනක් නිවාස අඩස්සියේ සිටීමෙන් පසුව සිය සුපුරුදු තරග රටාවට අනුව හැඩගැසීම සඳහා තරගකරුවන්ට තවත් සති කිහිපයක් ගතවනු ඇත.
 
-036

 


අදහස් (0)

ප්‍රංශ පාපැදි සවාරියත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.