Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රබලයන් පසුබසිද්දී ලාබාලයෝ වැඩ පෙන්වති

ප්‍රබලයන් පසුබසිද්දී ලාබාලයෝ වැඩ පෙන්වති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘කනක හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට තවමත් 13 වැනි වියේ පසුවන කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සහ මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූහ.

බිමන්දි විවෘත ශූරතාව දිනාගත්තේ හත් වතාවක් ජාතික ශූරිය වූ වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගි විවෘත කාන්තා අවසන් මහ තරගයේදී වට 4-0 ක් ලෙස පරාජය කරමිනි. අවසන් මහ තරගයේදී 13 හැවිරිදි ලාබාල ක්‍රීඩිකා බිමන්දි හමුවේ එක් තරග වටයක් හෝ ජයගැනීමට ඉෂාරා අපොහොසත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

බාලක වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස කොළඹ රාජකීය විදුහලේ තිසස් රංචාගොඩ පරාජය කළ සෙනුර, වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.

බාලිකා වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස කෑගලු බාලිකා විදුහලේ නවින්දි සෙනවිරත්න පරාජය කළ බිමන්දි, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ විවෘත කාන්තා ශූරතාවත් ජයගනිමිනි.

තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 4-1 ක් ලෙස යුද හමුදාවේ ඉමන්ත උදන්ජය පරාජය කරමිනි. අවසන් පූර්ව වටයේදී වට 4-3 කින් ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරමින් චමීර අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර ඉමන්ත අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ එහිදී වට 4-2 ක් ලෙස චලිත රංජන පරාජය කරමිනි.

මේසපන්දු ජාතික (පිරිමි) ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන උදය රණසිංහ, මේ දිනවල ඇමරිකාවේදී පුහුණු පාඨමාලාවකට සහභාගි වී සිටීම නිසා මෙම තරගාවලියට සහභාගි නොවීය. ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන රොහාන් සිරිසේන සහ සුපුන වරුසවිතාන පිළිවෙලින් දිනේෂ් කවිෂ්ක සහ නිර්මල ජයසිංහ හමුවේ පරාජය වීම නිසා විවෘත පිරිමි ඉසව්වේ දෙවැනි වටයේදීම (පෙර අර්ධ අවසන් පූර්ව) තරගාවලියෙන් ඉවතට විසිවූහ.

විවෘත කාන්තා ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ජය ලබා ප්‍රධාන තරගාවලියට පැමිණි මලීෂා සාලින්දි, එහි පළමු වටයේදීම පෙරළියක් කරමින් මේසපන්දු ජාතික (කාන්තා) ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන මුතුමාලි ප්‍රියදර්ශනී පරාජය කළාය.

ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන ජාතික ශූරී එරන්දි වරුසවිතානට මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන්ද, සිවුවැනි ස්ථානයේ පසුවන හංසනී පියුමිලාට එහි දෙවැනි වටයෙන්ද (පෙර අර්ධ අවසන් පූර්ව) ඉවත් වීමට සිදුවූයේ පිළිවෙලින් බිමන්දි බණ්ඩාර සහ ඉමාෂා ද සිල්වා හමුවේ පරාජය වීම හේතුවෙනි.

කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමය සහ ටී.එස්. මේසපන්දු විද්‍යායතනය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය ඉකුත්දා කෑගලු බාලිකා විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එම සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

බාලක තරග ප්‍රතිඵල

■    වයස 10 න් පහළ
සයිෆුල්ලා අක්‍රම් (මහනුවර අල්හුදා ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-0 ක් ලෙස කකරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/09, 11/07)

■    වයස 12 න් පහළ
දනුක් ලමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඔෂාන් සෙනරත්ආරච්චි (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/05, 11/08)

■    වයස 15 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/07, 06/11, 13/11, 11/06)

■    වයස 18 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/09, 11/07, 11/09)

■    වයස 21 න් පහළ
ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ප්‍රසාද් ද සිල්වා (මාර්ග සංවර්ධන අධිකාරිය) පරාජය කරන ලදි. (11/06, 13/11, 07/11, 10/12, 11/07)


බාලිකා තරග ප්‍රතිඵල

■    වයස 10 න් පහළ
තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සදින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/13, 11/04, 05/11, 11/03)

■    වයස 12 න් පහළ
නවින්දි සෙනවිරත්න (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස එෂ්මිනි සඳුන්‍යා (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/09, 11/07)

■    වයස 15 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස නවින්දි සෙනවිරත්න (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/08, 11/05, 11/05)

■    වයස 18 න් පහළ
ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/09, 12/10, 11/08)

■    වයස 21 න් පහළ
මුතුමාලි ප්‍රියදර්ශනී (නාවික හමුදාව) විසින් තරග වට 3-2 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 12/14, 11/06, 13/15, 11/03)


විවෘත පිරිමි
චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් තරග වට 4-1 ක් ලෙස ඉමන්ත උදන්ජය (යුද හමුදාව) පරාජය කරන ලදි. (13/11, 11/06, 11/07, 08/11, 11/03)

විවෘත කාන්තා
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 4-0 ක් ලෙස ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) පරාජය කරන ලදි. (11/08, 11/07, 11/09, 11/7)


 

 


අදහස් (0)

ප්‍රබලයන් පසුබසිද්දී ලාබාලයෝ වැඩ පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.