Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපක්රමශීලිත්වය පිළිබඳ නළලත රැළි නැංවෙන ප්‍රශ්න මතුවෙද්දී, කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානුවෝ ශ්‍රී ලාංකිකයන්ගේ ගෙල සිරකරගෙන සිටියහ. දිනය නිමාවේ ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 563 ක් ලබා ගනිමින් ලකුණු 397 ක දැවැන්ත මුල් ඉනිමේ වාසියක් ලබාගෙන සිටියේය.
අනුකම්පා විරහිත පිතිහරඹයක නිරතව සිටි අඝා සල්මාන් (නොදැවී 132) සහ මොහොමඩ් රිස්වාන් (නොදැවී 37) ඒ වනවිට පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ. තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (25 වැනිදා) සම්පූර්ණ දිනයම පාහේ වර්ෂාවට සේදී ගිය නමුත්, අද දිනයේදී පාකිස්තානුවෝ ලකුණු 385 ක් ලබාගත්හ. ඒ අතරවාරයේදී ඔවුන්ට අහිමි වූයේ කඩුලු තුනක් පමණි.
අලංකාර පිතිහරඹයක නිරත වූ අබ්දුල්ලා ශෆීක් සිය මංගල ද්විත්ව ශතකය ලබාගත්තේ හතරේ පහර 19 කින් සහ හයේ පහර 4 කින් එය අලංකාර කරමිනි. පැය 9 කට ආසන්න අබ්ිදුල්ලාගේ ඉනිම තුළදී ඔහු පන්දු 326 කට මුහුණ දුන්නේය.
අබ්දුල්ලා දැවී යාමෙන් පසුව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පාලනය සියතට ගත් අඝා සල්මාන්, මුහුණ දුන් 123 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කළේය. දිනය නිමාවන විට සල්මාන් පන්දු 148 කින් 15 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකි. එහෙත් පළමු ප්රශ්නය වන්නේ පන්දු යවන්නන් හතර දෙනකුගෙන් දින 5 ටෙස්ට් තරගයකට යා හැකිද යන්නයි.
කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් පිට දඟ පන්දු යවන්නා වන ධනංජය ද සිල්වා සිටින නමුත් ඔහු පන්දු යැවීමට පැමිණියේ පාකිස්තානු මුල් ඉනිමේ ඕවර 68 ක් නිමාවීමෙන් පසුවය. ඒ වන විට ලකුණු පුවරුව කඩුලු 3 ට 270 ක් ලෙසින් දිස්වූ අතර ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් නොදැවී ලකුණු 136 ක් ලබා සිටියේය. ඕවර 80 කට පසුව, දෙවැනි නව පන්දුව ලබාගැනීමට පෙර ධනංජය යවා තිබුණේ ඕවර 2 ක් පමණි.
ගාල්ලේදි මොන මොන සෙල්ලම් පෙන්වූ නමුත් හැමදාමත් ගාල්ලේදී පමණක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකිය. ශ්‍රී ලංකාවේ තවත් ස්ථාවර ටෙස්ට් ක්‍රීඩාංගණ තුනක් පවතින අතර ඇතැම්විට නුදුරු අනාගතයේදී දඹුල්ල ක්‍රීඩාංගණයටත් ටෙස්ට් වරම් හිමිවීමේ ඉඩක් නැතුවා නොවේ. ඇරත් ලෝකයේ අනෙකුත් රටවලදීත් ටෙස්ට් තරග වලට සහභාගි විය යුතු බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට සරිලන සංයුතියක් සොයාගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි.
බාබර් අසාම් නැවත වතාවක් ප්‍රභාත් ජයසූරිය හමුවේ දැවී ගියේය. මාස 13 ක් ඇතුළත ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග 4 කදී ඉනිම 7 කින් 6 වතාවකදීම, ප්‍රභාත් ජයසූරියගේ දඟ පන්දු හමුවේ බාබර් අසාම් දැවී ගොස් තිබේ.
ගාල්ල ටෙස්ට් තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් සවුද් ශකීල් පළමුවෙන්ම ලෙග් ස්ලිප්හි සිටි නිශාන් මධුෂ්කට උඩපන්දුවක් දුන් නමුත් මධුෂ්ක වෙතින් එය ගිළිහී ගියේය. තරමත් පහතින් පැමිණි උඩපන්දුව ගිළිහී යන විට වමත් පිතිකරුවා ලබා සිටියේ ලකුණු 17 ක් පමණි. එතැනින් වාසනාව ලබාගත් සවුද් ශකීල් ලකුණු 57 ක් ලබා, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී යාමට පෙර, වසර 146 ක ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට අලුත්ම අලුත් පිටුවක් එකතු කළේය.
සිය පළමු ටෙස්ට් තරග හතේදීම, ඉනිම දෙකින් එකකදී හෝ ලකුණු 50 පසුකරගෙන ගිය මුල්ම පිතිකරුවා ලෙසින් සවුද් ශකීල් ඉතිහාස ගතවිය. මේ වන විට ටෙස්ට් තරග 7 කදී, ශතකයක් සහ ද්විත්ව ශතකයක් ද සමගින්, අර්ධ ශතක 6 ක් ලබාසිටින සවුද් ශකීල්ගේ සම්පූර්ණ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 875 කි. ඔහුගේ ඉනිමක සාමාන්‍යය 87.50 කි.
සවුද් ශකීල් දිස්වන්නේ 80 දශකයේදී පන්දු යවන්නන් ගත හිරිගඩු නැංවූ ජාවෙඩ් මියැන්ඩාඩ්ගේ වමත් ප්‍රතිරූපයක් ලෙසිනි.
පිටියට පිවිසි විගසම අසිත ප්‍රනාන්දුගෙන් හිස් ආවරණයට වැදුණු පන්දුව නිසා තරමක් සසළව සිටි නමුත් සර්ෆ්රාස් අහමඩ් ලකුණු 14 ක් ලබාගත්තේය. එහෙත් පසුව ක්‍රීඩාගාරයට ගියේ ඇතිවූ කම්පනය නිසා තරමක් විවේක ගනු රිසියෙනි. කෙසේ වෙතත් පාකිස්තානු කඩුලු රකින්නා මේ වන විට රෝහල් ගතකර සිටින අතර ඔහුගේ ස්ථානයට මොහොමඩ් රිස්වාන් ආදේශ කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.