Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය ලකුණු 48 කින් ජයගනී

පාකිස්තානය ලකුණු 48 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර එඩින්බරෝහිදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (12 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි.

ආරම්භක පිතිකරු ජෝජ් මුන්සේ (25) සහ කයිස් කොයෙට්සර් (31) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගුවද, මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා ස්කොට්ලන්ත කණ්ඩායමේ හඹායෑම අසාර්ථක විය. පන්දු 22 කදී වාර්තා වූ මුන්සේගේ ඉනිම හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 18 කදී වාර්තා වූ කොයෙට්සර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

ස්කොට්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වූ මයිකල් ලීසක්, පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක් ලබා තරගය නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහු අපොහොසත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශඩාබ් ඛාන් සහ හසන් අලී කඩුලු 2 බැගින් දවාගනිමින් ස්කොට්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 204 ක් රැස්කළ අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ නායක සර්ෆ්‍රාස් අහමඞ් පන්දු 49 කදී නොදැවී ලකුණු 89 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගිනි.

ෂොයිබ් මලික් (53) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අහමඞ් සමත් වූ අතර පන්දු 27 කට මුහුණදුන් මලික් හයේ පහර 5 කින් සිය ඉනිම සැරසීය.

ස්කොට්ලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ ඇලස්ඩෙයාර් එවන්ස්, ලකුණු 33 ක් තුළ පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. එම කඩුලු 2 ත් සමග සිය ඕවර 4 තුළදී ලකුණු 23 කට ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 3 කි.


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 4 කට 204
(ෆකාර් සමාන් 21, හුසේන් ටලාට් 18, සර්ෆ්‍රාස් අහමඞ් නොදැවී 89, ෂෙයිබ් මලික් 53, ඇලස්ඩෙයාර් එවන්ස් 23/3)

ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 156
(ජෝජ් මුන්සේ 25, කයිල් කොයෙට්සර් 31, ඩයිලන් බජ් 24, මයිකල් ලීසක් නොදැවී 38, ෂඩාබ් ඛාන් 25/3, හසන් අලී 33/2)


- 036

 


අදහස් (0)

පාකිස්තානය ලකුණු 48 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.