Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානුවෝ එක්දින තරගාවලිය සම කරති

පාකිස්තානුවෝ එක්දින තරගාවලිය සම කරති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී අද (28 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් ලැබූ පාකිස්තාන කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට පත්කිරීමට සමත් විය. ඒ අනුව ලබන 30 වැනිදා පැවැත්වෙන පස්වැනි එක්දින තරගය අවසන් මහ තරගයක ස්වරූපයක් ගනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ ඕවර 31.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පන්දු 53 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළ බාබර් අසාම් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඉමාම් උල්හක් (71) සහ ෆකාර් සමාන් (44) පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල සඳහා පන්දු 80 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 91 කට මුහුණදුන් ඉමාම් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 44 කදී වාර්තා වූ සමාන්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 41 අවසානයේ ලකුණු 164 කට සීමා කිරීමට උස්මාන් ඛාන් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උස්මාන් ඛාන් ලකුණු 35 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර ශහීන් අෆ්රිඩි සහ ශඩාබ් ඛාන් කඩුලු 2 බැගින් දවාගත්හ. පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර දැවී යෑමද දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශාල පාඩුවක් විය.

එහිදී ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පන්දු 75 කින් නොදැවී ලකුණු 59 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. ලකුණු 18 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ෆෆ් ඩුප්ලෙසි (57) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 125 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අම්ලා සමත් විය. පන්දු 76 කදී වාර්තා වූ ඩුප්ලෙසිගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.


දකුණු අප්‍රිකාව - ඕවර 41 කදී සියලු දෙනා දැවී 164
(හෂීම් අම්ලා 59, ෆෆ් ඩුප්ලෙසි 57, රෙසී වැන්ඩර් ඩුසේන් 18, උස්මාන් ඛාන් 35/4, ශහීන් අෆ්රිඞ් 24/2, ශඩාබ් ඛාන් 42/2)

පාකිස්තානය - ඕවර 31.3 කදී කඩුලු 2 ක් දැවී 168
(ඉමාම් උල්හක් 71, ෆකාර් සමාන් 44, බාබර් අසාම් නොදැවී 41)


-036

 


අදහස් (0)

පාකිස්තානුවෝ එක්දින තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.