Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු කී‍්‍රඩාවේ ප‍්‍රගතියක් තියෙනවා - කී‍්‍රඩා ඇමති

පාපන්දු කී‍්‍රඩාවේ ප‍්‍රගතියක් තියෙනවා - කී‍්‍රඩා ඇමති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙරට පාපන්දු ක‍්‍රීඩාවේ පැවැති ඒකාධිපති යුගය අවසන් කිරීමට හැකි වීමත් පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිවරයා ගෙවූ පසුගිය මාස නවයක කාලය තුළදී මෙරට පාපන්දු ක‍්‍රීඩාව ලද ප‍්‍රගතියක් බව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වසර 2014 ට යෝජිත පාපන්දු සංවර්ධන සැලැස්ම එළිදැක්වීම නිමිත්තෙන් පාපන්දු නිවසේ දී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ පැවසීය.

එහිදී ඇමතිවරයා පැවසුවේ පාපන්දු සම්මේලනයේ වත්මන් පාලනය බලයට පැමිණීමෙන් පසුව පාපන්දු ලීග ගණන 27කින් වැඩිවී තිබෙන බවත් එය 100ක් දක්වා වැඩිකර ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත්ය.

‘‘එදා තිබ්බේ ‘බෝඞ් ලෑලි’ පාපන්දු ලීග. හොඳම උදහරණය නාවලපිටිය පාපන්දු ලීගයයි. ඒක කොළ කෑල්ලකට පමණක් සීමා වෙච්ච පාපන්දු ලීගයක් බව හෙළි වුණා. ඒ ලීගයේ එකම ක‍්‍රීඩා සමාජයක්වත් තිබිලා නෑ.

එදා පාපන්දු ලීග කෙරුවෙ ඔය වගේ. නමුත් අද තත්ත්වය වෙනස් වෙලා. පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිවරයා ලීග 35ක පමණ මේ වන විට පෞද්ගලිකව සංචාරය කර අඩු පාඩු සොයා බලන්න කටයුතු කරලා තිබෙනවා. එතුමාට හැකිවෙලා තිබෙනවා මේ වන විට අලූත් ලීග 25ක් හදන්න.

මේ අතර ඇමතිවරයා මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ පාපන්දු ක‍්‍රීඩාව පසුගිය යුගයේ කෙතරම් කඩා වැටීමකට ලක්ව තිබුණේ ද යත් පාපන්දු ක‍්‍රීඩාව කරමින් සිටි පාසල් එය අතහැර රගර් ක‍්‍රීඩාව තෝරාගත් බව විදුහල්පතිවරුන් ක‍්‍රීඩා අමාත්‍යාංශයට ප‍්‍රකාශ කර සිටි බවය.

‘‘කොහොම උනත් දැන් පශ්චාත් පරීක්‍ෂණ තියමින් අපි කාලය ගත කරන්න අවශ්‍ය නෑ. අපි දැන් වැඩ කළ යුතුයි. මේ රටේ පාපන්දු ක‍්‍රීඩාව තවමත් පවතින්නේ රටේ පාසල් 9000කින් 300ක විතරයි. ඒ අර යුගයේ පාපන්දු ක‍්‍රීඩාවේ දියුණුවේ තරම තමයි.

අපේ ඉලක්කය වන්නේ ලබන අවුරුද්ද වන විට පාපන්දු ලීග 100ක් හදන්නයි. ඒවා නමට විතරක් හදලා බෑ. අවම එක පාපන්දු ලීගයක ක‍්‍රීඩා සමාජ 15ක් තිබිය යුතුයි. එය 25ක් දක්වා අවම වැඩිකර ගන්නත් ලබන අවුරුද්දේ අපේ ඉලක්කයක්’’ ක‍්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා හෙළිකර සිටියේ වඩාත් සාර්ථකව ක‍්‍රියාකාරී මට්ටමෙන් පවත්වා ගෙන යන ලීගයකට ලබන වසරේ දී රුපියල් ලක්‍ෂ පහක් දක්වා ලබාදීමට ද කටයුතු කරන බවය.

කාල්ටන් රග්බි ලීග් තරගාවලිය මෙන් අන්තර් පළාත් රග්බි තරගාවලියක් ඉදිරියේ දී ආරම්භ කරන බවත් එහිදී අනුග‍්‍රාහකයන් ලෙස පළාත් වෙළඳ සංගම් ඉදිරිපත් වීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

ඇමැතිවරයා මෙසේ ද පැවසීය. ‘‘සමහරු කියනවා පසුගිය මාස නවයේ දී දැක්කේ වත්මන් සභාපතිවරයා ලොකු ඝෝෂාවක් කරනවා විතරයි කියලා. එහෙම කියන්නෙ කවුද කියලා කවුරුත් දන්නවා. ඒ අය එයාලගෙ කාලෙ මොනවද කළේ කියලා ඇහැව්වොත් එයාලට කියන්න දෙයක් තිබෙනවාද?

පාපන්දු සම්මේලනයේ අද හොඳ විනිවිදභාවයකින් කටයුතු කරනවා. පාපන්දු විනිසුරුවන් සඳහා පවත්වන පරීක්‍ෂණයට 400ක් ඉල්ලූම් කරලා තිබෙනවා. පාපන්දු ලීග වැඩ කිරීමේ අපේ අවසාන පරමාර්ථය ක‍්‍රීඩකයන් වැඩි වැඩියෙන් පිටියට ගෙනල්ලා වඩාත් දක්‍ෂයෝ ජාතික කණ්ඩායමට තෝරා ගැනීමයි.

ඒ  විතරක් නෙමේ පාපන්දු ලීගවල ක‍්‍රියාකාරිත්වය අප රහස්‍ය වාර්තා මගින් සොයා බලනවා. ඒ සඳහා පාපන්දු සම්මේලනය පත් කළ නිලධාරින්ට අපේ දිස්ත‍්‍රික් පුහුණුකරුවන් 25 දෙනකුගේ සහයෝගය ලබා දෙන්නත් කටයුතු කරනවා යයි ද ඇමැතිවරයා පැවසීය.


අදහස් (0)

පාපන්දු කී‍්‍රඩාවේ ප‍්‍රගතියක් තියෙනවා - කී‍්‍රඩා ඇමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.