Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු සම්මේලනයට කෝප් කමිටුවෙන් චෝදනා

පාපන්දු සම්මේලනයට කෝප් කමිටුවෙන් චෝදනා

ශනුක අරවින්ද - 2017 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සිය ව්‍යවස්ථාවට පටහැනිව යමින් නීතිවිරෝධී පත්වීම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටු) වාර්තාවේ දක්වා තිබේ. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය බදාදා (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කමිටුවේ තෙවෙනි වාර්තාවෙන් මේ බව දක්වා තිබේ.

රාජ්‍ය ආයතන 15 ක් සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් ලබාගත් නිර්දේශ හා නිරීක්‍ෂණ මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයද සම්බන්ධ තොරතුරු මෙම වාර්තාවට ඇතුළත්ය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සභාපතිත්වය දරන කෝප් කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගෙන් සමන්විතය.

කෝප් කමිටුව පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ප්‍රධාන චෝදනා හතරක් එම සම්මේලනයට එල්ලවී තිබේ. ඒ විවිධ ආයතනවලින් ලැබූ මුදල් ප්‍රතිපාදන භාවිතයේ සිදුවූ බව කියන අක්‍රමිකතා, ආසියානු පාපන්දු තරගාවලියේදී නිකුත් කර තිබෙන සමරු කලාපයකට අදාළ ආදායම් ගිණුම්ගතවී නොතිබීම, අභ්‍යන්තර විගණන අංශයක් පවත්වා නොගැනීම හා නීති විරෝධී පත්වීම් යන කරුණු සම්බන්ධයෙනි.

නීති විරෝධී පත්වීම් සම්බන්ධයෙන් කෝප් කමිටුව දක්වා ඇත්තේ ආයතනයේ ව්‍යවස්ථාවට පටහැනිලෙස එම පත්වීම් කර තිබෙන බවට සිය අවධානය යොමුවූ බවය. ඒ සම්බන්ධයෙන් කමිටුවේ නිර්දේශවී ඇත්තේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම, ඊට පටහැනිව පුද්ගලයන් තනතුරුවලට පත් නොකිරීම, දැනට එවන් තනතුරු දරන අය ගැන පරීක්‍ෂා කර කාරක සභාවට වාර්තා කිරීමත්ය.

ව්‍යවස්ථාවට පටහැනිව පුද්ගලයන් තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් 2016/9/30 වැනිදා තෙක් සිය කාරක සභාවට එවීමට සම්මේලනය අපොහොසත්වී තිබෙන බවත් එහිදී දක්වා තිබේ. සම්මේලනය විවිධ ආයතනවලින් ලැබූ මුදල් ප්‍රතිපාදන භාවිතයේදී සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා හඳුනා ගැනීම් හතරක් වාර්තාවේ දක්වා තිබේ.

කළුතර පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉතාලි පාපන්දු සංගමයක් මගින් ලබාදුන් යුරෝ 40,000ක්, ආසියානු පාපන්දු සම්මේලනය මගින් ලබාදුන් යුරෝ 60,000ක්, පෞද්ගලික සමාගමක් මගින් සුනාමි සහන සඳහා ලබාදුන් ඩොලර් මිලියන 10ක් හා ආසියානු පාපන්දු සම්මේලනය මගින් නැවැත ලබාදුන් ඩොලර් 200,000ක් වැයකර තිබෙන ආකාරය එම අක්‍රමිකතාව දැක්වේ. මේ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති බව ගණන් දීමේ නිලධාරියා පැවසුවත් සිය නිර්දේශ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව 2016.09.30 දින තෙක් සිය කමිටුවට දැනුම් දී නැතැයි කෝප් කමිටුව සිය වාර්තාවෙන් අවධාරණය කර තිබේ.

එසේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමන් පසුව පොලිස්පතිවරයාගෙන් ප්‍රගති වාර්තාවක් ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා ලෙසත් කමිටුව එම අවස්ථාවේදී වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

ආසියානු පාපන්දු තරගාවලියේදී පළකළ සමරු කලාපයේ ආදායම් ගිණුම් ගතවී නොතිබීම ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් පාපන්දු කළමනාකරණ කමිටුව එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයා හා ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා සිය කමිටුව හමුවට කැඳවන ලෙසත් කෝප් කමිටුව කළ නිර්දේශ ක්‍රියාත්මකවී නොමැති බවට සිය වාර්තාවේ සඳහන් කර තිබේ. ඒ පිළිබඳව කමිටුව වැඩිදුරටත් වාර්තාවේ අවධාරණය කර ඇත්තේ එවකට සිටි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ඉදිරියේදී මේ කරුණු අරබයා කමිටුව හමුවට කැඳවීමට පියවර ගන්නා බවය.

අභ්‍යන්තර විගණන අංශය පිළිබඳව කළ විමසීමේදී කමිටුවේ නිර්දේශ ලෙස ඉදිරිපත් වී ඇත්තේ එතෙක් පාපන්දු සම්මේලනයේ අභ්‍යන්තර විගණන අංශයක් පවත්වාගෙන ගොස් නොමැති බව සභාපතිවරයා සනාථ කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව 2016 සැප්තැම්බර් 30 වැනිදාතෙක් සම්මේලනය කමිටුවට දැනුම් දී නැති බවත් එහිදී කමිටුව වැඩිදුරටත් වාර්තාවෙන් අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් කෝප් කමිටුව කළ විමර්ශනයේදී ආයතනයේ මූල්‍යමය තත්ත්වය පිළිබඳව බරපතළ ලෙස සැලකිලිමත්වීම ගැන පොදු කරුණු යටතේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 


අදහස් (0)

පාපන්දු සම්මේලනයට කෝප් කමිටුවෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.