Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපැදි තරග මංපෙත ආධාරකරුවන්ට තහනම්

පාපැදි තරග මංපෙත ආධාරකරුවන්ට තහනම්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපැදි තරග ධාවකයන්ට මින් ඉදිරියට යතුරුපැදි හා වෙනත් වාහන මගින් ආධාර ලබා ගැනීම මුළුමනින්ම තහනම් කර ඇතැයි ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය පවසයි. එම සම්මේලනය මින් ඉදිරියට මෙහෙයවන සියලුම පාපැදි තරග සඳහා එය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පොලිස් චක්‍රලේඛයක් නිකුත් කෙරෙන බවත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා පවසයි.

ජනතාවගේ විවේචනයට ලක් නොවන අලුත්ම පාපැදි තරග සංස්කෘතියක් හඳුන්වාදීමට මෙම නීතියෙන් පාපැදි සම්මේලනය බලාපොරොත්තු වන බවත්, ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සමග කළ සාකච්ඡාවක දී නව නීතිය දේශීය පාපැදි තරග සඳහා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ පූර්ණ සහයෝගය ලබාදීමට ඔහු ප්‍රතිඥා දුන් බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

දේශීය පාපැදි තරගවලදී ධාවකයන්ට ආධාර දෙමින් ඔවුන් පසුපස ඔවුන්ගේ ආධාරකරුවන් යතුරුපැදි හා වෙනත් වාහන උපයෝගි කර ගනිමින් ලුහුබැඳීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. එම ක්‍රියාදාමය ජනතාවගේ මෙන්ම පාපැදි තරගවල දී මාර්ග ආරක්ෂාව ලබාදෙන පොලිසියේත් නිරන්තර අවධානයට යොමුව තිබුණි.

ඇතැම් පාපැදි තරගවලදී තරගකරුවන් පසුපස ලුහුබඳින  ආධාරක වාහන නිසා එම ධාවකයන් මෙන්ම නරඹන්නන් ද අනතුරට පත් වූ අවස්ථා වාර්තා වී ඇත. ඒ අතර එම ක්‍රියාදාමය හේතුවෙන් පාපැදි තරග විනිසුරුවරුන් හා තීරකරුවන්ට බාධා පැමිණි අවස්ථාද සුලභව වාර්තා වී තිබේ.

පාපැදි තරගකරුවන්ට ලුහුබැඳ ගොස් ආධාර දෙන මෙම ක්‍රමය ජාත්‍යන්තර පාපැදි තරග නීති රීතිවලට මුළුමනින්ම පටහැනි බවත්, එම ක්‍රමය ශ්‍රී ලංකාවේ පාපැදි තරග සංස්කෘතිය තුළ පමණක් දැනට දක්නට ලැබෙන්නක් බවත් පාපැදි සම්මේලනයේ සභාපතිවරයා අවධාරණය කරයි.

නව ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව පාපැදි තරග අවස්ථාවල දී ජාත්‍යන්තර ප්‍රමිතියට තරග සංවිධානය කිරීමට හැකිවීමත්, තරගකරුවන්ට ආධාර ලබා ගැනීමේ දී සමාන අවස්ථා උදාවීමත් ක්‍රීඩා සමාජවලට වියදම් අවම වීමත්, පාපැදි තරග අතරතුර දී මහජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා මගහරවා ගැනීමත්, පරිසර හිතකාමී ක්‍රීඩාවක් ලෙස වාහන අවම සංඛ්‍යාවක් යොදා ගැනීමෙන් රටට පූර්වාදර්ශයක් දීමටත්, විනිසුරුන් හා තීරකවරුන්ගේ කාර්යභාරය පහසු කිරීමටත්, බාහිර පාර්ශ්ව වෙතින් පාපැදි තරග අවස්ථාවල දී පැන නැගෙන බාධා අවම වීමෙන් ඒ සඳහා පොලිසියට නිසි ආරක්ෂාවක් සැපයීම ඒ අවස්ථා උදාවීමත් සහ දේශීය පාපැදි ක්‍රීඩාවට හිතකර කරුණු ගණනාවක් මල්ඵල ගැන්වෙන බව පාපැදි සම්මේලනය අවධාරණය කරයි.

ඒ අතර පාපැදි සම්මේලනය අවධානය කරන්නේ ඒ සඳහා හොඳම විකල්පය එම තරග සංවිධානය කිරීම බවය. එහිදී වටයක අවම දුර කිලෝමීටර් 10 ක් ලෙස තරග සංවිධානය වඩාත් උචිත බව කියැවේ.

තරග මාර්ගයේ වම්පස සුදුසු ස්ථානවල පෝෂණ කලාප සලකුණු කිරීමෙන් පසුව එහි සිට ධාවකයන්ට විනිසුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ ආධාර ලබාදීමේ හැකියාව ලැබේ.

එකම මාර්ගයක පාපැදි තරගයක් අවසන් කිරීමේ දී එහි ආරම්භයෙන් පසුව කිලෝමීටර 40ක් ගිය පසුව ද නැවත තරගය අවසානයට කිලෝමීටර 20 ක් දුර තිබියදී ද ධාවකයන්ට ආධාර ලබාදිය හැකි පෝෂණ කලාප දෙකක් හඳුන්වාදීමට යයි.

ඒ අතර පොදු තාක්ෂණික සේවා වාහන තරග සංවිධායකයන් විසින් සැපයිය යුතුය. ඒ සඳහා තාක්ෂණික සේවා මෝටර් රථ, කැබ් රථ දෙකක් යොදා ගත හැකිය. ධාවකයන්ගේ ආසන්නයේම ලුහුබැඳ යන වාහන ද ඒ සඳහා යොදා ගත හැකිය.

පොදු තාක්ෂණික සේවා යනු පාපැදි තරග අවස්ථාවල දී ධාවකයන්ගේ පාපැදි අබලන්වන හෝ වෙනත් දෝෂ හටගන්නා අවස්ථාවල දී ඒ සඳහා අමතර රෝද ඇතුළු පාපැදි කොටස් සැපයීමෙන් ආධාර ලබාදීමයි.

පළමු ශ්‍රේණියේ පාපැදි තරග පැවැත්වීමේ දී පාපැදි සම්මේලනය අවධාරණය කරන පරිදි මින් ඉදිරියට ධාවකයන්ගේ එක් කණ්ඩායමක් සඳහා එක් වාහනයක් බැගින් ද, සාමාන්‍ය සේවා සඳහා සැපයිය යුතුය. එහි දී පොදු තාක්ෂණික සේවා මෝටර් රථ අවම දෙකක්වත් එවැනි පළමු ශ්‍රේණියේ පාපැදි තරග සඳහා යොදා ගත යුතුය.

නව නීතිය එළැඹෙන දිස්ත්‍රික් පාපැදි තරග මාලාව සඳහා යොදා ගන්නා ලෙස ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සියලුම දිස්ත්‍රික් පාපැදි සංගම් වෙත දැනුම් දී තිබේ.

 


අදහස් (0)

පාපැදි තරග මංපෙත ආධාරකරුවන්ට තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.