Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැරීසිය කළඹන සුරූපිනියන්ගේ ගැටුම

පැරීසිය කළඹන සුරූපිනියන්ගේ ගැටුම

ශනුක අරවින්ද - 2018 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියට එක්නොවනු ඇතැයි කවුරුන් කීවත් අන්තිම මොහොතේ දී ඇතුළට රිංගා ගැනීමට තරම් වාසනාවන්ත වූ කාගේත් සිත් දිනාගත් ක්‍රීඩිකාවන් දෙදෙනා වන අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සහ රුසියාවේ මරියා ෂරපෝවා හෙට (4) පැවැත්වෙන සිවුවැනි වටයේ තරගයේදී එකිනෙකා මුණගැසීමට තරම් අවාසනාවන්තියෝ බවට පත්වී සිටිති. මෙම හමුව අවාසනාවන්ත යයි කීවේ තරගයෙන් පසුව දෙදෙනාගෙන් කෙනකුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන බැවිනි.

රුසියානු ක්‍රීඩිකා මාරියා ෂරපෝවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුරූපිනියකි. කලකට ඉහතදී ඇය ටෙනිස් පිටියේ නිල නොලත් රූ රැජන වූවාය. ෂරපෝවා තරමටම ඡායාරූප ශිල්පින්ගේ අවධානය යොමු නොවන නමුත් කළු ජාතික සම්භවයක් ඇති ඇමරිකානු ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ඇමරිකාවේ මෝස්තර නිරූපිකාවකි.

සඳුදා පැවැත්වෙන මේ දෙදෙනාගේ තරගය ඉතා විශාල ප්‍රේක්‍ෂක අවධානයක් දිනාගන්නේ එබැවිනි.

ඊයේ නිමාවට පත්වූ තුන්වැනි වටයේදී ලකුණු 6-2 ක් සහ 6-1 ක් ලෙස කැරොලින් ප්ලිස්කෝවා පරාජය කිරීමට ෂරපෝවා සමත්වූවාය. ජුලියා ජෝර්ජ් ලකුණු 6-3 ක් සහ 6-2 ක් ලෙස පරාජය කිරීමට සෙරිනා විලියම්ස් සමත්වූයේ  මෙවර තරගාවලියේ උණුසුම් තරගයක් වේලාසනින්ම ක්‍රීඩාලෝලීන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාකරලමිනි.

36 හැවිරිදි සෙරීනාගෙත්. 31 හැවිරිදි ෂරපෝවාගෙත් හෙට සටන ප්‍රංශ විවෘත තරගාවලිය එහෙම පිටින්ම ඉහළට ඔසවා තබමින් අති විශාල ජනප්‍රියත්වක් ගෙන දෙනු ඇතැයි විචාරකයෝ කියති. මීට පෙර ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 28ක් දෙදෙනා අතර බෙදාහදා ගෙන ඇති ලොව විශාලතම ක්‍රීඩා තරු දෙකක් වන සෙරීනා සහ ෂරපෝවා මේ මුණගැසෙන්නේ 2016 වසරේ ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් පසුවය. එහිදී ෂරපෝවා පරාජය කිරීමට සෙරීනා සමත්වූවාය.

කෙසේ වෙතත් හෙට පැවැත්වෙන තරගය දෙදෙනාගෙම හදගැස්ම වැඩි කරලීමට සමත්වී ඇත. එකිනෙකා කෙරෙහි අසීමිත ගෞරවයක් දෙදෙනා තුළ තිබුණත් මෙවර තරගාවලියේදී තව දුරටත් ඉදිරියට යාමට නම් එක් අයකුගේ ගමන නැවැත්වීමට අනිකාට සිදුවනු ඇත.

“සෙරීනාට විරුද්ධව ක්‍රීඩා කරන හැම මොහොතකදිම පීඩනයක් හිතට දැනෙනවා” ෂරපෝවා එසේ කියයි.

“ඒක තමයි ලොකුම අභියෝගය. ඇයට එරෙහිව මම වාර්තා කොතෙක් තිබ්බත් වැඩක් නෑ හෙට තරගයේදී මම ක්‍රීඩා කරන විදිහ මතතමයි හැමදේම තීරණය වෙන්නේ. ඇය මට වඩා හොඳින් දියුණු වී ඇති තැන් කිහිපයක්ම මට පෙනෙනවා” යයි ෂරපෝවා එසේ කියන්නීය.

ෂරපෝවා එසේ කීවත් සෙරීනා විලියම්ස් පවසන්නේ අන් දෙයකි.

“සහතිකයි ෂරපෝවා තමයි හෙට තරගයේදී කාගෙත් ඔට්ටුව වෙන්නේ. ඇය ආපසු පිටියට පැමිණ දැන අවුරුද්දක් විතර වෙනවා. මම බබා හම්බවුණාට පස්සේ මේ හරියට (ටෙනිස් තරගාවලියක මෙවන් තීරණාත්මක අවදියකට) ආවාමයි.” සෙරීනා කීවාය.

“කොහොමවුණත් මේ තරගය අපි දෙන්නටම හොඳ පරීක්ෂණයක් වේවි. පැරිස් පිටිය කොහොමටත් ෂරපෝවාට වාසිදායක පිටියක්. ඇය හැමදාම මේ පිටියේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා” යයිද විලියම්ස් කීවාය.

සෙරීනාගේ වැඩිමහල් සොයුරිය වන වීනස් විලියම්ස් මෙවර ප්‍රංශ විවෘත ශූරතාවලියේ පළමු වටයේදීම පරාජය වූ බැවින් විලියම්ස් පවුලේ අයට ඇති එකම බලාපොරොත්තුවත් සෙරීනාම පමණි.

මීට වසර දෙකකට පෙර තහනම් උත්තේජන භාවිතා කිරීමේ වරදට හසුවීම නිසා මාස 15ක තරග තහනමක් ලැබූ ෂරපෝවා මෙන්ම සිය පළමු දරු ප්‍රසූතිය නිසා මාස 8ක විරාමයක් ලැබූ සෙරීනා දෙදෙනාම පසුගිය වසරේ පැරීසියට පැමිණියේ නැත.

මෙවරත් දෙදෙනාටම ඒ වාසනාව අහිමිවීමේ අවදානම මතුවී තිබුණත් ෂරපෝවා යාන්තමින් ඊට එක්වුයේ තරගාවලියට දින කිහිපයකට පෙරය. එහෙත් සෙරීනාට මෙවර අවස්ථාවක් දෙන්නේදැයි යන්න ගැන අවසන් මොහොත දක්වාම දෙගිඩියාවෙන් පසුවූ තරග සංවිධායකයෝ අන්තිමේදී ඊට කැමැත්ත පළ කළහ.

මෙහි වඩාත්ම උණුසුම් සිදුවීම වන්නේ ප්‍රංශ විවෘත තරගාවලිය සෙරීනාට අහිමි කිරීමට තරග සංවිධායකයන් උත්සුක වෙද්දී සෙරීනා වෙනුවෙන් හඬ නැංවූ ක්‍රීඩිකාවන් අතර මාරියා ෂරපෝවා ඉදිරියෙන්ම සිටීමයි.

සෙරීනාට ප්‍රංශ විවෘත තරගාවලිය අහිමි වීමට ගියේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය දරු ප්‍රසූතියෙන් පසුව ප්‍රධාන පෙලේ තරගාවලියක ශූරතාවක් අත්කර නොගත් බැවිනි. එය තරග සංවිධායකයන්ගේ වරප්‍රසාදයකින් තොරව ඇයට ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියකට සහභාගිවිමේ අවස්ථාව නොලැබෙන කාරණාවකි. එහෙත් ක්‍රීඩිකාවෝ සෙරීනා වෙනුවෙන් කතා කළහ.

“මේ නීතිය වෙනස් වෙනවා දකින්න මං කැමතියි.”

“ටෙනිස් කියන්නේ එහෙම පිටින්ම ආත්මාර්ථකාමී ක්‍රීඩාවක්. ඒත් තමන්ගේ ජිවිතයට දරු සම්පතක් ලැබිම වගේ සංවේදි මානුෂික සිදුවීමක් නිසා මේ අවස්ථාව ඇයට අහිමිවීම වේදනාවට හේතුවක්” යයි ෂරපෝවා කීවාය.


අදහස් (0)

පැරීසිය කළඹන සුරූපිනියන්ගේ ගැටුම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.