Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරුවන්ගේ සටනින් දකුණු අප්‍රිකාවට ජය
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

පිතිකරුවන්ගේ සටනින් දකුණු අප්‍රිකාවට ජය

editorial - 2023 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(ශානුක අරවින්ද)

දෙපිලේම පිතිකරුවන්ගේ කැපී පෙනුන දස්කම් හමුවේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී අද (07 වැනිදා) පැවැති ලෝක කුසලාන එක්දින තරගයෙන් ලකුණු 102 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 429 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ, ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 326 ක් රැස්කරමින් පරාජයේ පරතරය අඩුකර ගැනීමට සමත් වූහ.

කණ්ඩායමේ දෙකේම පන්දු යවන්නන්ට අමිහිරි මතකයක් බවට පත්වූ මෙම තරගය හුදෙක් පිතිකරුවන් අතර පැවැති සටනක් ලෙස හැඳින්විය හැකිය. ලෝක කුසලාන තරගයකදී කණ්ඩායම් දෙකම එක්ව රැස්කර තිබූ වැඩිම සංඛ්‍යාවේ වාර්තාව (714) බිඳ දැමීමට මෙම තරගයේදී (754) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමත් වූ අතර ‍ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ වැඩිම හයේ සහ හතරේ පහ‍ර සංඛ්‍යාවේ වාර්තාවද (93) මෙම තරගයේදී (105) අලුත් විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී, එක් අන්තයක සිට ප්‍රහාරය ක්‍රියාත්මක කරමින් අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, පන්දු 42 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 76 ක් රැස්කළේය. දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් තඹේකට මායිම් නොකළ මෙන්ඩිස්, මාකෝ ජැන්සන්ට හයේ පහර 3 කින්ද, ලුංගි න්ගිඩිට හ‍යේ පහර 3 කින්ද, කගිසෝ රබාඩාට හයේ පහර 2 කින්ද සංග්‍රහ කළේය.

මෙන්ඩිස්ගේ දැවීයෑමෙන් අනරතුව දුම්මල වරම අතට ගත් චරිත් අසලංක, පිටිය සිසාරා පහර එල්ල කරමින් පන්දු 65 කදී ලකුණු 79 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. කලකට පසුව යළිත් සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ නායක දසුන් ශානකද පන්දු 62 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

අසලංක සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දසුන්, ඉන් නොනැවතී කසුන් රාජිත (33) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ පසුපෙළ සවිමත් කළේය. එහිදී පන්දු 31 කට මුහුණදුන් රාජිතගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධ‍නයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී වාර්තාගත ලකුණු 428 ක් ලබාගත්තේය. ඉන් ලකුණු 137 ක්ම වාර්තා වූයේ අවසන් ඕවර 10 තුළය. එය ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර ලෝක කුසලාන තරගයකදී දකුණු අප්‍රිකාව ලකුණු 400 සීමාව ඉක්මවා ගිය තෙවැනි අවස්ථාවද විය.

ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් (100), රාස් වැන්ඩ‍ර් ඩසන් (108) සහ ඒඩ්න් මාක්‍රම් (106) ශතක ලබාගනිමින් එම වාර්තාගත ලකුණු සංඛ්‍යාව කරා යෑමට දකුණු අප්‍රිකාවට මග පෑදූහ. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ, මතීෂ පතිරණගේ ඕවර 10 දී ලකුණු 95 ක්ද, කසුන් රාජිතගේ ඕවර 10 දී ලකුණු 90 ක්ද බැගින් රැස්කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව 10 ක්ව තිබියදී දිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් නායක ටෙම්බා බවුමා දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු 8 කට දැවී ගියේය. එතැන් පටන් ඩි’කොක් සහ වැන්ඩර් ඩසන් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 174 කදී ලකුණු 204 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.  

එම සම්බන්ධතාව හමුවේ 30 වැනි ඕවරය නිමාවන විට දකුණු අප්‍රිකාව ලකුණු 206 කට එක් කඩුල්ලක් ලෙස ඉතා ප්‍රභල තත්ත්වයක පසුවිය. කෙසේ වුවත් 31 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට 4 පහරක් එල්ල කරමින් ශතකය ලබාගත් ඩි’කොක්, ඊළඟ පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අත‍ට උඩ පන්දුවක් දෙමින් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
 
පන්දු 84 කදී වාර්තා වූ ඩි’කොක්ගේ 18 වැනි එක්දින ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත වූ අතර පන්දු 110 කට මුහුණදුන් ඩසන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සිය 5 වැනි එක්දින ශතකය සැරසුවේය. වැන්ඩර් ඩසන් දැවී ගියේ සීමා ඉරෙන් ඉදිරියට ගැසූ පහරකින් ඇදී ගිය පන්දුව ලෝන් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි සදීර සමරවික්‍රමගේ දෑත් අතර සිරවීම හේතුවෙනි.

ඩි’කොක්ගේ දැවී යෑමෙන් අනතුරුව වැන්ඩර් ඩසන් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 50 ක් එක්කළ ඒඩ්න් මාක්‍රම්, ඉන් නොනැවතී හෙන්රිච් ක්ලාසන් (32) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී වේගවත් ලකුණු 78 ක්ද එක් කළේය. ඒ අතරතුර පන්දු 54 කදී ලබාගත් වේගවත් ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 14 කින් අලංකාර කිරීමටද මාක්‍රම් සමත් විය.

තරගය පුරා ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉතා දුර්වල පන්දු රැකීමක නිරත වූ අතර එහිදී ඔවුන් අතින් උඩ පන්දු 5 ක් සහ එක් දුවද්දී දවාගැනීමට තිබූ අවස්ථාවක් මඟහැරී ගිය අයුරු දක්නට ලැබිණ. එම උඩ පන්දු 5 න් 3 ක් සහ දුවද්දී දවාගැනීමට තිබූ අවස්ථාව ශතක ලබාගත් ඩි’කොක්ගේ සහ වැන්ඩර් ඩසන්ගේ වීමද, ඔවුන් එම අවස්ථා ලබාදුන්නේ ශතක ලබාගැනීමට පෙරාතුව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

 

ශ්‍රී ලංකා කණ්ඩා‍යමෙන් මඟ හැරුණු අවස්ථා

•    ඕවර 22.1 දී - ලකුණු 65 ක් ලබා සිටි වැන්ඩර් ඩසන්, ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ මිඩ් විකට් කළාප‍යේ පන්දු රකිමින් සිටි සදීර සමරවික්‍රමට ලබාදුන් උඩ පන්දුව

•    ඕවර 22.5 දී - ලකුණු 54 ක් ලබා සිටි ක්වින්ටින් ඩි’කොක්, ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කළාප‍යේ පන්දු රකිමින් සිටි චරිත් අසලංකට ලබාදුන් උඩ පන්දුව

•    ඕවර 25.5 දී - ලකුණු 71 ක් ලබා සිටි වැන්ඩර් ඩසන්, දුනිත් වෙල්ලා‍ලගේගේ පන්දුවක් හමුවේ බැක්වඩ් පොයින්ට් කළාප‍යේ පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංකට ලබාදුන් උඩ පන්දුව

•    ඕවර 28.1 දී - ලකුණු 85 ක් ලබා පිතිකරු අන්තයේ සිටි ක්වින්ටින් ඩි’කොක් දුවද්දී දවාගැනීමට සදීර සමරවික්‍රමට තිබූ අවස්ථාව

•    ඕවර 38.6 දී - ලකුණු 4 ක් ලබා සිටි හෙන්රච් ක්ලාසන්, කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලබාදුන් උඩ පන්දුව

•    ඕවර 40.2 දී - ලකුණු 18 ක් ලබා සිටි හෙන්රච් ක්ලාසන්, කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලබාදුන් උඩ පන්දුව


දකුණු අප්‍රිකාව
ක්වින්ටින් ඩි’කොක් - ඇ.ධනංජය ප.පතිරණ    100
ටෙම්බා බවුමා  - ක.මු. කළා ප.මධුෂංක     8
රාසි වැන්ඩර් ඩසන් - ඇ.සධීර ප.වෙල්ලාලගේ    108
ඒඩ්න් මාක්‍රම් - ඇ.රාජිත ප.මධුෂංක     106
හෙන්රිච් ක්ලාසන් - ඇ.ශානක ප.රාජිත     32
ඩේවිඩ් මිලර් - නොදැවී     39
මාර්කෝ ජැන්සන් - නොදැවී     12
අතිරේක     23
එනතුව ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී     428

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
ජෙරල්ඩ් කොයෙට්සර්, කේෂව් මහරාජ්, ලුංගි න්ගිඩි සහ කගිසෝ රබාඩා

කඩුලු වැටීම :
1-10(බවුමා), 2-214(ඩි‍’කොක්), 3-264(ඩසන්), 4-342(ක්ලාසන්), 5-383(මාක්‍රම්)

පන්දු යැවීම :
කසුන් රාජිත 10-1-90-1, දිල්ෂාන් මධුෂංක 10-0-86-2, දසුන් ශානක 6-0-36-0, ධනංජය ද සිල්වා 4-0-39-0, මතීෂ පතිරණ 10-0-95-1, දුනිත් වෙල්ලාලගේ 10-0-81-1

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ප.ජැන්සන්     0
කුසල් පෙරේරා - ප.ජැන්සන්    7
කුසල් මෙන්ඩිස් - ඇ.ක්ලාසන් ප.රබාඩා    76
සදීර සමරවික්‍රම - ඇ.ජැන්සන් ප.කොයෙට්සර්     23
චරිත් අසලංක - ඇ.හෙන්ඩ්‍රික්ස් ප.න්ගිඩි    79
ධනංජය ද සිල්වා - ඇ.පෙලුක්වායෝ ප.මහරාජ්    11
දසුන් ශානක - ප.මහරාජ්     68
දුනිත් වෙල්ලාගේ  - ඇ.ක්ලාසන් ප.කොයෙට්සර්    0
කසුන් රාජිත - ඇ.මාක්‍රම් ප.කොයෙට්සර්     33
මතීෂ පතිරණ - ප.රබාඩා     5
දිල්ෂාන් මධුෂංක - නොදැවී    4
අතිරේක     20
එකතුව ඕවර 44.5 කදී සියලු දෙනා දැවී     326

කඩුලු වැටීම :
1-01(නිස්සංක), 2-67(පෙරේරා), 2-109(මෙන්ඩිස්), 4-111(සමරවික්‍රම), 5-150(සිල්වා), 6-232(අසලංක), 7-233(වෙල්ලාලගේ), 8-291(ශානක), 9-322(රාජිත), 10-326(පතිරණ)

පන්දු යැවීම :
ලුංගි න්ගිඩි 8-1-49-1, මා‍කෝ ජැන්සන් 10-0-92-2, කගිසෝ රබාඩා 7.5-0-50-2, කේෂව් මහරාජ්  10-0-62-2, ජෙරල්ඩ් කොයෙට්සර් 9-0-68-3


අදහස් (0)

පිතිකරුවන්ගේ සටනින් දකුණු අප්‍රිකාවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.