Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරුවන් ලකුණු අතර‍ට පැමිණීම සතුටට කරුණක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

පිතිකරුවන් ලකුණු අතර‍ට පැමිණීම සතුටට කරුණක්

editorial - 2023 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගය පරාජයට පත්වුවද, එම තරගයේදී ප්‍රභල පන්දු යවන්නන් රැසක් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම ඉතාමත් සතුටට කරුණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු සදීර සමරවික්‍රම කියයි. තරගයෙන් අනතුරව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

දිගින් දිගටම පිතිකරුවකු ලෙස අසාර්ථක වෙමින් සිටි නායක දසුන් ශානක මෙම තරගයේදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග පන්දු 62 කින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත් විය. අසලංක සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 72 කින් ලකුණු 82 ක් එක් කළ දසුන්, ඉන් නොනැවතී කසුන් රාජිත (33) සමග එක්ව 8 වැනි කඩුල්ල සඳහා පන්දු 44 කින් ලකුණු 58 ක්ද එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

“කුසල් මෙන්ඩිස් සහ විශේෂයෙන්ම දසුන් ශානක නැවතත් සුපුරුදු රිද්මයට පැමිණීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මෙන්ඩිස් සහ චරිත් අසලංක කණ්ඩායමේ පිතිකරණ අංශයට ලොකු විශ්වාසයක් ලබාදුන්නා. මෙච්චර ලොකු ගාණක් හඹාගෙන යනකොට අපිට මැද කොටසෙදි සෙට් වෙලා ගහන්න වෙලාවක් නෑ. අපි හැම විටම ධනාත්මකව ක්‍රීඩා කළ යුතුයි. ඒ වගේ තත්වයක් යටතේ මෙහෙම ක්‍රීඩා කරන්න ලැබීම අපි ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් කියලා මම හිතනවා.” යැයි සදීර කීය.

පන්දු 42 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 76 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස 12 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී දැවී ගියේය. එතැන් සිට පන්දු 4 ක් ඇතුළත සදීරටද ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එතෙක් රඳවාගෙන සිටි ලකුණු ලබාගැනීමේ වේගය කඩා වැටිණ.

‍“මේ තණතිල්ලේ අපිට කිසිම ආකාරයක දෝලනයක් හෝ දඟ කැවීමක් දක්නට ලැබුණේ නෑ. ඒක පිතිකරුවන්ට ඉතාමත් හොඳ තණතිල්ලක්. ඔවුන් මෙච්චර ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස්කරලත් අපි තරගය පරාජය වුණේ ලකුණු 100 කින් වගේ. ඉනිම මැද ඕවරවලදී කඩුලු කිහිපයක් දැවී නොගියා නම් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව ආසන්නයට පැමිණීමට හෝ තරගය ජයගැනීමට පවා අපට අවස්ථාවක් තිබුණා කියලා මම විශ්වාස කරනවා.” යැයිද එහිදී සදීර පැවසීය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ දැඩි පහර කෑමකට ලක්වූ අයුරු දැකගත හැකි විය. එහිදී ඕවර 10 බැගින් යැවූ මතීෂ පතිරණට එරෙහිව ලකුණු 95 ක්ද, කසුන් රාජිතට එරෙහිව ලකුණු 90 ක්ද, දිල්ෂාන් මධුෂංකට එරෙහිව ලකුණු 86 ක්ද, දුනිත් වෙල්ලාලට එරෙහිව ලකුණු 81 ක්ද රැස්කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් සමත් වීම කැපී පෙනුණ සිදුවීමක් බවට පත් විය.

“ඇත්තටම අපිට කණ්ඩායමක් විධියට මේ තරගයේදී අපේ පන්දු යැවීම ගැන සතුටට පත්වෙන්න අමාරුයි. මේ වගේ තණතීරුවක පන්දු යවන්නන් අතින් පොඩි වැරදීමකින් වුණත් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු හයක් හතරක් ගන්න පුළුවන් වෙනවා. අපි තව ටිකක් ඉවසීමකින් යුතුව පන්දු යැව්වා නම් ඔවුන්ව අඩු ලකුණු සංඛ්‍යාවකට තබා ගන්න තිබුණා කියලා මට හිතෙනවා. යැයිද සදීර සඳහන් කළේය.  


අදහස් (0)

පිතිකරුවන් ලකුණු අතර‍ට පැමිණීම සතුටට කරුණක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.