Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරු ලයිස්තුව සැකසීමේ අවසන් අවස්ථාව

පිතිකරු ලයිස්තුව සැකසීමේ අවසන් අවස්ථාව

editorial - 2021 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර පිතිකරුවන‍්ගේ අනුපිළිවෙල නිසි අයුරින් සකසා ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා කණ්ඩයම හෙට (7 වැනිදා) ඕමානයට‍ එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. අවසන් වරට ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලින්හිදී පිතිකරු ලැයිස්තුවේ අනු ‍පිළිවෙල එහා මෙහා කරමින් ‍විවිධ අත්හදා බැලීම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සඳහා හිමිවන අවසන් අවස්ථාව මෙය වනු ඇත. ‍

තරගයට පෙර තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසක් සිටින ඕමාන කණ්ඩායම පිළිබඳව මනා ලෙස අධ්‍යනය කළ බව කී ශ්‍රී ලංකා නායක දසුන් ශානක, සිය පිතිකරුවන්ට ස්වීප් සහ රිවස් ස්වීප් පහර පුහුණුවීම සඳහා පුහුණුවීම්වලදි වැඩි කාලයක් වෙන් කළ බවද පැවසීය. කෙසේ හෝ තමා ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගාවලියේදී ලකුණු අතරට පැමිණිය යුතු බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ආබාධයකට ලක්ව සිටින කුසල් පෙරේරා යළිත් පුහුණුවීම් ආරම්භ කර ඇති අතර හෙට තරගයට සහභාගි වීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. එහෙත් ඔහු හෙට ක්‍රීඩා කරන්නේ නම් ඒ පිතිකරුවකු ලෙස පමණක්ද, නැතහොත් කඩුලු රැකීමේ කාර්යයත් ඔහු මතට පැටවෙනාවද යන්න පිළිබඳව තවමත් කිසිදු හාවක් හූවක් නොමැත. ‍

කුසල් ‍ක්‍රීඩා කරන්නේ නම් බොහෝ දුරට ඔහු ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවීමට නියමිත අතර ඔහුගේ සහයකයා කවුරුන් වේදැයි යන්න තවමත් අවිනිශ්චිතය. එක් අන්තයක් රැකගෙන ඕවර 20 පුරා පන්දුවට පහරදිය හැකි උප නායක ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරවීමටද  කණ්ඩායම් කලමනාකාරීත්වයේ අදහසක් ඇතැයි වාර්තා වේ.

එසේ නොවුණහොත් සුපුරුදු පරිදි දිනේෂ් චන්දිමාල් හෝ අවිෂ්ක ප්‍රනාන්දු දෙදෙනාගෙන් කෙනෙක් සමග කුසල්ට ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට සිදුවනු ඇත. දකුණු අප්‍රිකානු තරගාවලියේදී දිගින් දිගටම අසාර්ථක වූ භානුක රාජපක්ෂට ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් අවස්ථාවක් ලබාදීම කෙරෙහිද හෙට තරගයේදී වැඩි අවධානයක් යොමු වනු ඇත‍.

ඉනිමේ 15 වැනි ඕවරයේ සිට 20 වැනි ඕවරය දක්වා චාමික කරුණාරත්න පන්දුවට පහරදීමට පිටියට පිවිසිය හොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වාසි දායක වන බව පුහුණුකරු මිකී ආතර් මහතා කියා සිටියේය. එහිදී ‍වේගයෙන් ලකුණු රැස්කිරීම සඳහා චාමිකට නායක දසුන්ගේ සහ වනිඳු හසරංගගේ සහයෝගද අවශ්‍ය බවද මිකී අතර් මහතා වැඩි දුරටත් පැවසීය. කෙසේ වුවත් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටිම නිසා වනිඳුට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරටද හෙට තරගය අහිමිවනු ඇත. ඒ අනුව වනිඳුගේ ස්ථාන වෙනුවෙන් අතිරේක දඟ පන්දු යවන්නකුට හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටු විවර විය හැකිය.

 මෑත කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් විශ්වාසය තැබිය හැකි පිතිකරුවා බවට පත්ව සිටින චරිත් අසලංකට හෙට තරගයේදීත් සිය පිත්ත මුවහත් කර ගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇත. එහිදී සෙසු පිතිකරුවන් සමග ඔහු ගොඩනගන සම්බන්ධතා අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ හෝ පහළ යනු ඇත.


අදහස් (0)

පිතිකරු ලයිස්තුව සැකසීමේ අවසන් අවස්ථාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.