Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකාරිණියන්ගේ පසුබෑමෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
කාන්තා වි:20 ලෝක කුසලාන

පිතිකාරිණියන්ගේ පසුබෑමෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

editorial - 2024 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පාකිස්තාන පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 85 ක් පමණි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාදියා ඉක්බාල් ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් නායිකා ෆාතිමා සානා, නෂ්රා සන්ධු සහ ඔමයිමා සොහේල් කඩුලු 2 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩිකා ඩයනා බේග් එක් පන්දුවක් යැවීමෙන් අනතුරුව පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගියාය. ඇගේ හිදැස පිරවීම සඳහා පන්දුව අතට ගත් නායිකා ෆාතිමා සානා තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී චමරි අතපත්තු පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා නරඹන්නන්ගේ ඇස් උඩ යවමිනි. 

ඉන් අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරිණියන් එකා පසුපස එකා ආ පයින්ම ආපසු ක්‍රීඩාගාරය බලා ගියේ පාකිස්තාන දඟ පන්දු යවන්නියන් හමුවේ දණ නමමිනි. ආරම්භක පිතිකාරිණී විෂ්මි ගුණරත්න පන්දු 34 කින් ලකුණු 20 ක්ද, නිලක්ෂි ද සිල්වා පන්දු 25 කින් ලකුණු 22 ක්ද රැස්කළ නමුත් සෙසු පිතිකාරිණියන් සියලු දෙනාටම ලකුණු 10 සීමාවෙන් ඔබ්බට යෑමට පාකිස්තාන පන්දු යවන්නියෝ ඉඩක් ලබා නොදුන්හ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 116 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ නායිකා චමරි අතපත්තු, සුගන්දිකා කුමාරි සහ උදේෂිකා ප්‍රබෝධනී කඩුලු 3 බැගින් බිඳහෙළමින් පාකිස්තාන ඉනිම සුනිවිසුණු කර දැමූහ. 

මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 17 ක් වන විට පාකිස්තාන ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූ සුගන්දිකා කුමාරි ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නාය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ චමරි අතපත්තු, තමාගේම පන්දුවක් හමුවේ තමා අතටම පැමිණි උඩ පන්දුවක් රැකගනිමින් පාකිස්ථානය තවත් අසරණ කළාය. 

ඉන් නොනැවතුන චමරි, 14 වැනි ඕවරයේ පිට පිට පන්දු 2 කදී තූබා හසන් සහ ආලියා රියාස් දවාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ පීඩනය තවත් වැඩි කළාය. සාර්ථක ලෙස පන්දුවට පහර දෙමින් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් ලබා සිටි නායිකා ෆාතිමා සානා දැවී ගියේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට උත්සාහ ගැනීමේදීය. 

ලකුණු 23 ක් ලබා සිටි නිඩා දාර්ගේ කඩුල්ල බිඳ දැමූ උදේෂිකා ප්‍රබෝධනී, අවසන් ඕවරයේදී ෆාතිමා සානා සහ සාදියා ඉක්බාල්ද පිටියෙන් ඉවත් කරමින් පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 116 කට සීමා කළාය. පාකිස්තාන ඉනිම පුරා කඩුල්ල පසුපස සිටිමින් පන්දු යවන්නියන්ට අනගි සහායක් ලබාදුන් අනුෂ්කා සංජීවනී උඩ පන්දු 4 ක් රැක ගැනීමට සමත් වූවාය. 

 


අදහස් (1)

පිතිකාරිණියන්ගේ පසුබෑමෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
  • KP Friday, 04 October 2024 09:21 PM

    දැන් චමරි ක්‍රිකට් ගහන්නේ අනික් තරුණ ක්‍රීඩිකාවන් ගැන වෛරය ඊර්ෂ්‍යාව සහිතව බවයි පෙනෙන්නේ. චමරි බලන්නේ තමන්ගේ වැඩේ හරියට නොකර අනික් අයට දොස්කීමට...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.