Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පීටර්හැන්සල්ගේ මනුස්සකම මතුවෙයි

පීටර්හැන්සල්ගේ මනුස්සකම මතුවෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනතුරකට පත්වූ යතුරුපැදිකරුවකුට සහය වීමට තරගය අතරතුර සිය මෝටර් රථය නතර කිරීම නිසා ඩකාර් රැළියේ 10 වැනි අදියරේ ජයග්‍රහණය අහිමි වී ගියද, තවදුරටත් මෝටර් රථ අංශයේ පෙරමුණ ගැනීමට ප්‍රංශයේ ස්ටෙපාන් පීටර්හැන්සල් සමත්ව සිටියි. ජයග්‍රහණය පසෙකලා ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම වෙනුවෙන් පීටර්හැන්සල් ගත් එම තීරණය හේතුවෙන් මේ වන විටත් ඔහු ක්‍රීඩකයන්ගේ, සංවිධායකයන්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේද වැඩි අවධානයක් දිනාගෙන සිටී.

ආජන්ටිනාවේ චිලේසිටෝ සහ සැන් ජුවාන් නගර දෙක අතර පැවැති 10 වැනි අදියර ජය ගැනීමට පීටර්හැන්සල්ගේ කණ්ඩායම් සගයා වන සෙබස්තියන් ලොබ් සමත් විය. ඒ තුවාලකරු සමග නතරව සිටි පීටර්හැන්සෙල් පසුකර යමිනි.

නම වරක් ලෝක රැළි ශූරතාව දිනා සිටින සෙබස්තියන් ලොබ්ට එම අදියර නිමා කිරීම සඳහා ගත වූ කාලය පැය 4 යි මිනිත්තු 54 යි තත්ත්පර 28 කි. ඔහුට වඩා මිනිත්තු 2 යි තත්ත්පර 33 ක් පසුපසින් තරගය නිමා කළ ප්‍රංශ ජාතික සිරිල් ඩෙස්ප්‍රස් දෙවැනියා ලෙස තරගය නිමා කළේය. ලොබ්ට වඩා මිනිත්තු 6 යි තත්ත්පර 45 ක් පසුපසින් තරගය නිමා කළ පීටර්හැන්සල්ට 10 වැනි අදියරේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

කිලෝ මීටර් 83 සීමාවේදී ස්ලෝවැකියානු ජාතික සයිමන් මර්සිස්ගේ යතුරුපැදිය සහ ස්ටෙපාන් පීටර්හැන්සල්ගේ මෝටර් රථ එකිනෙක ගැටීම නිසා සයිමන් මර්සිස් අනතුරකට ලක්විය. අනතුරෙන් මර්සිස්ගේ පාදයක් දරුණු ලෙස තුවාල වූ අතර එම අවස්ථාවේදී සිය මෝටර් රථය නවත්වා වෛද්‍ය පහසුකම් සපයන හෙලිකොප්ටරය පැමිණෙන තෙක් එම ස්ථානයේ රැදී සිටිමට පීටර්හැන්සල් තීරණය කළේය.

ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සඳහා පීටර්හැන්සල් ඒ මොහොතේ ක්‍රියා කළ ආකාරය අගය කළ තරගාවලියේ සංවිධායක කමිටුව එම අදියර නිමා විමෙන් අනතුරුව ඔහුගේ තරග කාලයෙන් මිනිත්තු 14 යි තත්ත්පර 13 ක් අඩු කිරීමට කටයුතු කළේය. ඒ අනුව කිලෝ මීටර් 9000 කින් සමන්විත වන රැළිය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව තිබියදී සමස්ත තරගයේ පෙරමුණ ගෙන සිටින ස්ටෙපාන් පීටර්හැන්සල්,  සෙබස්තියන් ලොබ්ට වඩා මිනිත්තු 5 යි තත්ත්පර 50 ක් ඉදිරියෙන් රැදී සිටියි.
 
“යතුරුපැදිකරුවා මාව දැක්කාම තිරිංග යොදනවා මම දැක්කා. නමුත් ඒ මොහොතේ ඔහුට යතුරුපැදිය පාලනය කරගන්න බැරිවුණා. මම මෝටර් රථය නතර කරලා ඔහු ලඟට ගිහින් බලද්දි තමා දැක්කේ ඔහුගේ පාදයක් කැඩිලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ ඔහු හොඳ සිහියෙන් හිටියේ.” යැයි සිදුවූ අනතුර සම්බන්ධයෙන් පීටර්හැන්සල් පැවසීය.

“අපි මිනිත්තු 15 ක් 20 ක් පමණ ඔහු සමග හිටියා. වෛද්‍ය පහසුකම් සපයන හෙලිකොප්ටර් යානය ආවට පස්සේ තමා අපි එතනින් පිටත් වුණේ. ඒත් අනතුරේන් පස්සේ පවත්වාගෙන ආපු වේගයෙන්ම මෝටර් රථය පදවාගෙන යන්න හුගක් අපහසු වුණා.” යැයි පීටර්හැන්සල් තවදුරටත් කියා සිටියේය.

මෙම අදියරේ යතුරුපැදි අංශයේ ශූරතාව දිනාගැනීමට ප්‍රංශයේ මයිකල් මේට්ගේ සමත් වූ නමුත් තවදුරටත් සමස්ත තරගයේ යතුරුපැදි අංශයේ පෙරමුණ රැක ගැනීමට බි්‍රතාන්‍යයේ සෑම් සන්ඩර්ලන් සමත්ව සිටී.  

මයිකල් මේට් පැය 5 යි මිනිත්තු 48 යි තත්ත්පර 50 කින් 10 වැනි අදියර නිමා කළ අතර දෙවැනි ස්ථානයට පත් වූ ස්පාඤ්ඤයේ ජොවාන් බැරීඩා ඔහුට වඩා මිනිත්තුවක් පසුපසින්ද, තෙවැනි ස්ථානයට පත් වූ ස්ලෝවැකියාවේ සේටෙෆාන් ස්විට්කෝ මිනිත්තුවයි තත්ත්පර 19 ක් පසුපසින්ද තරගය නිම කළහ.

සමස්ත තරගයේ යතුරුපැදි අංශයේ පෙරමුණ ගෙන සිටින බි්‍රතාන්‍යයේ සෑම් සන්ඩර්ලන්, මේ වන විට එහි දෙවැනි ස්ථානයේ පසුවන ඕස්ටේ්‍රලියාවේ මැතියාස් වොක්නර්ට වඩා මිනිත්තු 30 ක පමණ ඉදිරියෙන් සිටියි.


- 036


අදහස් (0)

පීටර්හැන්සල්ගේ මනුස්සකම මතුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.