Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුංචි මිනිසුන් අතර රැඳි දැවැන්තයා

පුංචි මිනිසුන් අතර රැඳි දැවැන්තයා

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාළිගාවත්ත නාගරික ක්‍රීඩාංගණය පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ලෙසින් නම් කිරීමේ උත්සවයට එවකට (1987) අග්‍රාමාත්‍ය ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔහු කැඳවා ගෙන යන විටත් ඒ පිළිබඳව සිරිසේන මහතා දැන නොසිටියේය.


මාළිගාවත්ත පිට්ටනිය පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය නමින් නම් කර ඔහු ලවාම අගමැති ප්‍රේමදාස මහතා එහි නාම පුවරුව විවෘත කරනවිට ඔහුගේ ඇසට කඳුලක් නැගුණි.


තමා ජීවත්ව සිටියදී මෙවන් සිදුවීමකට මුහුණදීමට සිදුවීම සැබවින්ම ඔහුට විමතියක් ගෙන දුන් නිසා විය හැකිය. කළගුණ නොදත් සමාජයක එවැනි සිදුවීම් ඇත්තෙන්ම විශ්මය ජනකය.


පී.ඩී. සිරිසේන නොහොත් පාපන්දු මහගුරු ගැන කතා කරන  විට මට සිදුවීම අමතක කළ නොහැකිය.


රටේ පාපන්දු ක්ෂේත්‍රයේ ‘ෆුඞ්බෝල් ගෝඞ් පාදර්’ යනුවෙන් හැඳින්වූ පී.ඩී. සිරිසේන මහතා පසුගිය සඳුදා (18) හිමිදිරි පාන්දර රාජගිරිය ඔබේසේකරපුර නිවසේදී අභාවප්‍රාප්ත වීමේ ආරංචිය පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රය පමණක් නොව සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයම සසළ කළේය.


ඊට හේතුව ඔහු රටේ පාපන්දු ක්‍රීඩාවට කළ සුවිශේෂී මෙහෙවරම පමණක් නොව සැබෑ ජීවිතයේ ඔහු නිරහංකාර ‘පුංචි’ මිනිසෙකුවීමත් ඊට හේතු වූ බව පෙනේ.


සිරිසේන මාස්ටර් පසුගිය සඳුදා කළුරිය කරන විට ඔහුගේ වයස අවුරුදු 77ක් විය. ඉන් අවුරුදු 65 කට වැඩි කාලයක් ඔහු ගත කර ඇත්තේ පාපන්දු ක්‍රීඩාව සමගමය. වයස අවුරුදු හතක් ඉක්මවීමටත් පෙර ඔහු පාපන්දුවට පයින් ගසන මරදාන මාළිගාවත්ත අවට ක්‍රීඩාංගණවල කරක් ගසන පුංචි කොලු ගැටයෙකු විය.


රටේ පාපන්දු ක්ෂේත්‍රයේ ‘ෆුඞ්බෝල් ගෝඞ් පාදර් නැතහොත් සිරිසේන මාස්ටර් යනුවෙන් හැඳින්වූ ඔහු ගැන මේ තරම් කතා කිරීමට හේතුවූ සුවිශේෂී කාරණා කීපයක් මෙසේ දැක්විය හැකිය.


මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස එකළ ජාත්‍යන්තරයේද අවධානය දිනා ගැනීම.


යුරෝපයේ ක්‍රීඩා සමාජයකට එද මෙදා තුර ක්‍රීඩා කළ එකම  ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීම (නෙදර්ලන්තයේ නෙරනල් ක්‍රීඩා සමාජය)
ආසියානු පාපන්දු සමුළුවේ උපදේශකයෙකු වූ එකම ශ්‍රී ලාංකිකයා වීම. ඒ යටතේ ඔහු ආසියානු සමුළු - සී පුහුණුකරු පාඨමාලා හා ‘බී’ පුහුණුකරු පාඨමාලා 15 කට වැඩි ගණනක් මෙහෙය වීය.


දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවෙන් පිටත විදේශීය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ පළමු ශ්‍රී ලාංකිකයා වීම (ඔහු බංගලාදේශයේ ඩෙකා ටොන්ඩ්‍රස් කණ්ඩායමට වසර ගණනාවක් ක්‍රීඩා කළේය.


1968 ජපානයේ සංචාරය කිරීමෙන් ලබාගත් අත්දැකීම් තුළින් ශ්‍රී ලංකාවට පාපන්දු පුහුණු විද්‍යායතන (ඇකඩමි) පළමු වතාවට හඳුන්වා දීම.


අනතුරුව සිය දැනුම ඔස්සේ මෙරට පාපන්දු පුහුණුකරුවන් දැනුවත් කෙරෙන පුහුණු විද්‍යායතන (ඇකඩමි) පළමු වතාවට මෙරටට හඳුන්වාදීම.


පනහ දශකයේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩකයකු ලෙස බැඳුන ඔහු අනතුරුව එහි ලේකම්වරයා හා ප්‍රධාන පුහුණුකරු ලෙසත් මියයනතුරුම වසර 67 කට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කිරීම.


සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය එකල මෙරට ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජය බවට පත්කරමින් 21 වතාවක් එෆ්.ඒ. කුසලාන දිනා ගැනීමට පුරෝගාමි වීම.


ක්‍රීඩකයකු ලෙස ඔහු එෆ්.ඒ. කුසලාන තරගාවලියේ තබා තිබෙන වැඩිම ගෝල ලබා ගැනීමේ වාර්තාව මේ දක්වා බිඳ වැටී නොමැත.


1960 තරගාවලියේදී ඔහු විසින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් රැස්කර තිබෙන මුළු ගෝල ගණන 24 කි. එහි අවසන් මහ තරගයේදී වැල්ලවත්ත රෙදිමෝල් කණ්ඩායමට එරෙහිව රැස්කළ ගෝල හතද වාර්තාවකි.


සෝර්ඩර්ස් කණ්ඩායම එදා තරගය ජය ගත්තේද ගෝල 7-0 ක් ලෙසටය.


සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය 1918 දී ආරම්භ කර තිබෙන අතර ඔහුගේ අභාවය සිදු වන්නේ එහි ශත සංවත්සරය යෙදී තිබුණු වසරේදී වීම තවත් දෛවෝපගත සිදුවීමකි.


ඔහු රටේ සුවිශේෂී පාපන්දු චරිතයක් වුවත් එහිදී කැපී පෙනෙනම සිදුවීමක් වන්නේ සිය දශක හතකට ආසන්න පාපන්දු දිවිය තුළ ඔහු පාපන්දු පරිපාලනයට කිසිදු උනන්දුවක් දක්වා නොතිබීමය.


මේ රටේ එදා මෙදාතුර පාපන්දු පරිපාලනයට පිවිස බැණුම් අසන හා චෝදනා ලබන නිලධාරීන් පිරිස වැඩි බැවින් ඔහු පාපන්දු සම්මේලනයේ තනතුරු හොබවන්නට උනන්දු නොවූ බව ඇතැම්විට සිතිය හැකිය.


කෙසේවුවත් වසර 2016 අප්‍රේල් 23 වැනිදා දක්වා ඔහු සිය ක්‍රියාශීලි පාපන්දු දිවිය ගත කළ අතර අවසන් වරට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.


ඔහු ළගින්ම ඇසුරු කළ ප්‍රවීණ පාපන්දු පුහුණුකරු සුමිත් වල්පොල මහතා පවසන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් බහුතරයකගේ පළමු ගුරුවරයා ඔහු බවය.


මාතර මැදවත්ත ඔහුගේ මුල් ගම්පළාත වුණත් ඔහුගේ සැබෑ ගම් පළාත වූයේ මරදාන කෙසෙල්වත්ත ප්‍රදේශයයි මරදාන මධ්‍ය මහ විදුහල ඔහු සිප්සතර හැදෑරූ පාසල විය.


වසර 2014 දී ශ්‍රී ලංකාවේ 75 වැනි පාපන්දු සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගි වූ එවකට ලෝක පාපන්දු සමුළුවේ සභාපති ජෝශප් යෙෆ් බ්ලැටර් මහතා අතින් ඔහු උපහාර සම්මාන ලැබීම මෙහිලා සිහිපත් වේ.


ඒ සඳහා අවස්ථාව ලබාදුන් එවකට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූ රංජිත් රුද්‍රිගු මහතා එම අවස්ථාවේදී බ්ලැටර් මහතා අතින් ඔහුට රුපියල් ලක්ෂ පහක මුදල් තිළිණයක් ද ලබා දීමට කටයුතු කෙළ්ය.


එම අවස්ථාවේදී ඔහු රංජිත් රුද්‍රිගු මහතාට ස්තුතිපූර්වක වෙමින් දෑසින් කඳුළු හෙළනු දක්නට ලැබුණි.


මෙම ලිපියේ මුලින් සඳහන් කළ පරිදිම ඔහු මේ රටේ පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයකු වුවත් සැබෑ ජීවිතයේ ඔහු පුංචි නිරහංකාර මිනිසෙකි.
බොහෝ අවස්ථාවලදී ඔහු ආරාධිත අමුත්තන් අතර සිට නොව සාමාන්‍ය නරඹන්නන් අතර ඉඳිමින් පාපන්දු තරග නරඹන අවස්ථා කෙතෙක් තිබිණි.


පසුගිය නොවැම්බර් මාසයේ සිට ඔහු දැඩියේ ගිලන්වූ අතර ඔහුගේ පුත් ප්‍රවීණ පාපන්දු පුහුණුකරු මංජුල සිරිසේන මහතා පැවැසුවේ ඊට පෙර අවස්ථාවකදී ඇද වැටීමකින් ඔහුගේ උකුල් ඇටයට හානිවීමෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවූ බවයි.


දැඩි ගිලන් බවින් කොළඹ මහ රෝහලේද ඔහු දින ගණනාවක් නේවාසිකව ප්‍රතිකාර ගත්තේය. ආසියානු පාපන්දු සමුළුවේ එවකට උප සභාපති ධුරය දැරු මනිලාල් ප්‍රනාන්දු මහතා ඔහුට ගරු බුහුමන් දැක්වූ අය අතර කැපී පෙනේ.


කොළඹ මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඔබේසේකර පුර නිවසට පැමිණි සිරිසේන මහතාගේ සුවදුක් සොයා බැලීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාද පසුගිය දිනක පැමිණ ගොස් තිබුණි.


සිරිසේන මහතාගේ වියෝවෙන් පසුව ඔහුගේ අවසන් කටයුතු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යංශයේ දායකත්වයෙන් සිදු කිරීමට මේ වනවිට සියළු කටයුතු යොදා තිබේ.


හෙට (21) පස්වරු 5 දක්වා දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර, අනතුරුව එදින මළ හිරු බැසයන සැඳෑ සමයේ බොරැල්ල කනත්තේදී පී.ඩී. සිරිසේන මහතා දැයෙන් සමුගෙන යයි.


අදහස් (0)

පුංචි මිනිසුන් අතර රැඳි දැවැන්තයා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.