Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුහුණුකරු ගෙදර තියා ලෝක ශූරතාවලියට යති

පුහුණුකරු ගෙදර තියා ලෝක ශූරතාවලියට යති

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගිවීම සඳහා ස්වීඩනය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරුවකු ඇතුළත් නොවීමෙන් එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම තරගාවලිය පෙරේදා (29 වැනිදා) ආරම්භ වූ අතර මැයි මස 6 වැනිදා දක්වා ස්වීඩනයේ හැම්ස්ටඞ් නුවරදී පැවැත්වේ.

ලෝක ශූරතාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පුහුණුකරුවකු සහභාගි නොකිරීම සම්බන්ධයෙන් කළ විමසුමකදී ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතා ‘ලංකාදීප’යට පැවසූවේ එම තරගාවලියට පුහුණුකරුවකු සහභාගි කරවීම වෙනුවෙන් වැය කිරීමට මුදල් නොමැති වීම නිසා ඊට පුහුණුකරුවකු සහභාගී නොකර සිටීමට මේසපන්දු සංගමය තීරණය කළ බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම තරගාවලියේදී ලෝක මේසපන්දු සම්මේලනයෙන් නවාතැන් පහසුකම් සහ ආහාර පාන සඳහා අනුග්‍රහය සපයන්නේ ක්‍රීඩකයන් තිදෙනෙකුට, ක්‍රීඩිකාවන් තිදෙනෙකුට සහ එක් නිලධාරියකුට පමණක් බවත්, ඔවුන්ටද ස්වීඩනයට යෑමට සහ ඒමට ගුවන් ප්‍රවේශපත් ලබාගත්තේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් බවත්ය.

“මේ තරගාවලියට සමගාමීව ස්වීඩනයේදී ලෝක මේසපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීමත් පැවැත්වෙනවා. අපිට අනිවාර්යෙන්ම ඒකට අපේ නිලධාරියෙක් සහභාගි කරවන්න වෙනවා. ඒකයි අපි මේ සංචාරයට පුහුණුකරුවෙක් ඇතුළත් නොකර කළමනාකරුවෙක් ඇතුලත් කළේ. එතකොට ඔහුට පුලුවන් මහ සභා රැස්වීමෙදි ශ්‍රී ලංකාව නියෝජනය කරන්න.” යැයිද ජයේන්ද්‍ර මහතා පැවසීය.

තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් තිදෙනකුගෙන් සහ ක්‍රීඩිකාවන් තිදෙනකුගෙන් සමන්විත වේ. එහිදී උදය රණසිංහ, රොහාන් සිරිසේන සහ ක්‍රිෂාන් වික්‍රමරත්න පිරිමි කණ්ඩායමත්, හංසනී පියුමිලා, ඉෂාරා වරුසවිතාන සහ ජිතාරා වර්ණකුලසූරිය කාන්තා කණ්ඩායමත් නියෝජනය කරති. කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපති පැතුම් වීරක්කොඩි මහතාය.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තොරා ගැනීම සඳහා ඉකුත්දා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ එරන්දි වරුසවිතාන සිය අධ්‍යාපනික කටයුත්තක් හේතුවෙන් මෙම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී නොමැත. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ නිර්මල ජයසිංහ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහාභාගි වුවද, ලෝක ශුරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට අපොහොසත් විය.
 
තරගාවලිය සඳහා රටවල් 72 ක් සහභාගි වී සිටින අතර එහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම 64 වැනි ස්ථානයේද, කාන්තා කණ්ඩායම 62 වැනි ස්ථානයේදී රැදී සිටියි. තෙවැනි කොටස යටතේ යටතේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් පිළිවෙලින් එහි ‘අයි’ සහ ‘එල්’ යන කාණ්ඩ යටතේ තරග වදියි.

පිරිමි තරගාවලියේදී ශ්‍රී ලංකාව ඇතුළුව මෙක්සිකෝව, උස්බැකිස්තානය, නවසීලන්තය, කොන්ගෝ රාජ්‍ය සහ දකුණු අප්‍රිකාව ‘අයි’ කාණ්ඩය යටතේ තරග වදින අතර කාන්තා තරගාවලියේදී ශ්‍රී ලංකාව සමගින් නොර්වේ, වේල්සය, මාලදිවයින, බංග්ලාදේශය සහ බොස්නියාව ‘එල්’ කාණ්ඩය යටතේ තරග වදියි.


අදහස් (0)

පුහුණුකරු ගෙදර තියා ලෝක ශූරතාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.