Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල මියන්මාරයේදී පැවැත්වෙන 24 වැනි ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරුවකු ඇතුළත් නොවීම හේතුවෙන් එහිදී තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මහත් අපහසුතාවට පත්ව ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. ආසියානු මේසපන්දු සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය පෙරේදා (13 වැනිදා) ආරම්භ වූ අතර මේ මස 18 වැනිදා දක්වා මියන්මාරයේ නේපේ තාව් නුවරදී පැවැත්වේ.
මෙම තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මස මාලදිවයිනේදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේදී සම්පත් කුමාර සහ බුද්ධික දික්කුඹුර යන මහත්වරු දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කළහ. එහෙත් ආසියානු තරගාවලියට සහභාගි වීම සඳහා ඉකුත් 12 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේ කිසිදු පුහුණුකරුවකු නොමැතිවය.
පුහුණුකරුවෙක් නොමැති වුවත්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන රහල් අබේරත්න මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙසත්, ගුරුවරියක ලෙස සේවය කරන දිලිමා උඩගෙදර මහත්මිය බාලිකාවන් බාර නිලධාරිනිය ලෙසත් මෙම තරග සංචාරයට එක්ව සිටිති.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් කසුන් විතාන මහතාගෙන් කළ විමසුමකදී ඔහු ‘ලංකාදීප’යට කියා සිටියේ ආසියානු තරගාවලියට පුහුණුකරුවකු සහභාගි කරවීමට තරම් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට වත්කමක් නොමැති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විතාන මහතා මෙසේද පැවසීය.
“ඇත්තම කිව්වොත් මේ තරගාවලියට පුහුණුකරුවෙක් යවන්න අපේ සංගමයේ මුදල් තිබුණේ නෑ. දකුණු ආසියානු තරගාවලියේදී පුහුණුකරුවන් විදියට කටයුතු කරපු මහත්වරු දෙදෙනාට අපි කිව්වා එයාලගේ වියදම් හොයාගන්න පුලුවන් නම් සංචාරයට සහභාගි වෙන්න කියලා. එත් ඒ සඳහා අවශ්‍ය අනුග්‍රාහකයන් හොයා ගන්න බැරි වුණා කියලා ඒ අය අපිට දැනුම් දුන්නා. දකුණු ආසියානු තරගාවලියේදී කණ්ඩායමේ කළමනාකරු විදියට කටයුතු කරපු රහල් මහත්මයත් එයාගෙ අතින් වියදම් කරගෙන තමයි මේ සංචාරයට සහභාගි වුණේ.”
“බාලිකාවන් බාර නිලධානියක් යන්නේ නැත්නම් අපිට ගැණු ළමයි යවන්න බෑ. ඒක නීති විරෝධියි. ඒ නිසා ළමයින්ගේ දෙමාපියන් මැදිහත්වෙලා තමයි දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බාලිකාවන් බාර නිලධාරිණිය විදියට කටයුතු කරපු උඩගෙදර මහත්මියට ආසියානු තරගාවලියට සහභාගි වෙන්න අවශ්‍ය මුදල් හොයලා දුන්නේ. කණ්ඩායමේ කළමනාකරු විදියට කටයුතු කරන රහල් මහත්මයත් අපිට ඒ සඳහා අනුග්‍රාහකයෝ කිහිප දෙනෙක් හොයලා දුන්නා.”
“මේ තරගාවලියට පුහුණුකරුවෙක් යවන්න අපිට අනුග්‍රහය දක්වන්න කියලා අපි ක්‍රීඩා අමාත්‍යංශයෙනුත් ඉල්ලුවා. ඒත් එයාලා ඒකට කැමති වුණේ නෑ. එයාල අපිට ලබාදුන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මියන්මාරයට යෑමට සහ ඒමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත් විතරයි. ඔය හේතු නිසා තමයි අපිට මේ තරගාවලියට පුහුණුකරුවෙක් යවාගන්න බැරි වුණේ. යැයිද විතාන මහතා සඳහන් කර සිටියේය.
පෙරදිග ආසියාව, අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ බටහිර ආසියාව යන කළාප වලදී ශූරයන් සහ අනු ශුරයන් බවට පත්වූ එම රටවල් 10 මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තේය. ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුකම් ලබාගත්තේ දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේ අනු ශුරතාවය හිමි කරගනිමිනි.
දකුණු ආසියානු ශූරතාවලියේදී රිදී පදක්මක් 6 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. දකුණු ආසියාව නියෝජනය කරමින් ආසියානු තරගාවලියට සුදුසුකම් ලැබූ අනෙක් රට වන්නේ ඉන්දියාවයි. දකුණු ආසියානු තරගාවලියේ ශූරයන් බවට පත්වෙමින් ඔවුන් ඒ සඳහා අවස්ථාව උදාකර ගත්තේය.
අදියර දෙකකින් සමන්විත වන මෙම තරගාවලියේ පළමු අදියරේදී අවුරුදු 18 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ සඳහා කණ්ඩායම් තරග පැවැත්වේ. දෙවැනි අදියරේදී අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩය සඳහා කේවල සහ යුගළ තරග පැවැත්වෙන අතර 15 න් පහළ වයස් කාණ්ඩය සඳහා කේවල තරග පමණක් පැවැත්වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 6 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 7 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වී සිටිති.
වයස 18 න් පහළ තරග සඳහා ක්‍රීඩකයන් තිදෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිව්දෙනෙක්ද, වයස 15 න් පහළ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා බැගින්ද එහිදී තරග වැදීමට නියමිතය. දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් දිෂංක තෙන්නකෝන් මේ දිනවලදී පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඔහුට අසියානු තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.
කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරන අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හිරුණ වරුසවිතාන ආධුනික කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති.
කනිෂ්ඨ (වයස 18 න් පහළ) බාලක කණ්ඩායම
නිමේෂ් රංචාගොඩ - නායක (කොළඹ රාජකීය විදුහල), චන්දූප අලහකෝන් (මහනුවර කිංස්වුඞ් විදුහල) සහ ඉසුරු අංජන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
කනිෂ්ඨ (වයස 18 න් පහළ) බාලිකා කණ්ඩායම
හංසනී පියුමිලා - නායිකා (කොළඹ විශාකා විදුහල), ඩී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) සහ අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල)
ආධුනික (වයස 15 න් පහළ) බාලක කණ්ඩායම
හිරුණ වරුසවිතාන - නායක (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), චනුල දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) සහ සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)
ආධුනික (වයස 15 න් පහළ) බාලිකා කණ්ඩායම
ජිතාරා වර්ණකුලසූරිය - නායිකා (කොළඹ කාන්තා විදුහල) සහ සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) සහ කවිෂ්කා කාවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.