Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුහුණුකරු සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි

පුහුණුකරු සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික කරුණු මත තමන් පුහුණුකරු ධූරයෙන් ඉවත්වන බව දන්වා සිටිමින් සිල්වර්වුඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇත. 

ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඉල්ලා අස්වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පැය 24 ක් ඉක්මයාමටත් මත්තෙනි. 

“අන්තර්ජාතික වශයෙන් තරග කරන කණ්ඩායමක පුහුණුකරුවා වෙලා ඉන්නවා කියන්නේ අපි අපේ සමීපතමයන්ගෙන් දිගු කාලයක් ඈත්වෙලා ඉන්නවා කියන එකයි.”

“මම මේ ගැන මගේ පවුලේ අයත් සමගින් දිගින් දිගටම සාකච්ඡා කළා. අවසානයේදී මම තීරණය කළේ පවුලේ අයත් එක්ක වඩාත් හොඳ කාලයක් ගතකරන්න ඕනා කියන එකයි. ඒත් මම මේ තීරණය ගත්තේ බොහෝ අසීරුවෙන්” යයි සිල්වර්වුඩ් මහතා පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ. 

“මගේ ධූර කාලයේදී මට සහයෝගය දුන් ක්‍රීඩකයන්ට, කණ්ඩායමේ සහාය නිලධාරීන්ට, කළමණාකරුවන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට මා විශේෂයෙන්ම ස්තුති කරනවා. මොකද ඔවුන්ගේ සහයෝගය නොතිබුණා නම් අපි ඒ කාලයේදී ලබාගත් සාර්ථකත්වය ලබාගන්න වෙන්නේ නෑ.” 

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක බැඳී සිටි කාලය මට අනුස්මරණීයයි. මම ආපසු මගේ රට (එංගලන්තය) බලා යන්නේ ඒ සියලු සුන්දර මතක සටහන් එක්කාසු කරගෙනයි” යයි ද සිල්වර්වුඩ් මහතා පවසා තිබේ. 
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීමට පෙර එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පැමිණි සිල්වර්වුඩ් මහතා වසර 2022 සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය බාරගත්තේය. එංගලන්ත ටෙස්ට් පිල නියෝජනය කළ වේග පන්දු යවන්නකු වූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීමෙන් පසුව ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නන්ගේ සීඝ්‍ර දියුණුවක් දක්නට ලැබිණ. 

2022 දී විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැති ආසියානු කුසලාන තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2023 දී එක්දින තරගාවලියක් ලෙසින් පැවැති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 2022 දී සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට සහ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලි දෙකම 1-1 ක් ලෙසින් සමකළේය. 

එසේ වුවත් 2023 (එක්දින) ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 2024 (විස්සයි-20) ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූයේ අන්ත පරාජයකි. 

වසර 2022 දී ශ්‍රී ලංකාවේදී පැවැති ඕස්ටේ්‍රලියානු සහ පාකිස්තානු ටෙස්ට් තරගාවලි දෙක හැරෙන්නට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සිය මව්බිමේදී තරග කළේ අයර්ලන්තය, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය වැනි කණ්ඩායම් වලට එරෙහිවය. එම තරග පහසුවෙන් ජයගත් නමුත් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින් සිටින කණ්ඩායම් ටෙස්ට් තරගාවලියකදී පරාජය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය. මෑතකදී පැවැති එක්දින තරගාවලිවලදී වුවද ශ්‍රී ලංකාව ජයගත්තේ සිම්බාබ්වේ, ඇෆ්ඝනිස්ථානු සහ බංග්ලාදේශ යන කණ්ඩායම් වලට එරෙහිවය. 

අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 7 (ටෙස්ට්), 7 (එක්දින) සහ 8 (විස්සයි-20) යන ස්ථානවලට වැටී සිටිති. 

සිල්වර්වුඩ් මහතාගේ සේවා කොන්ත්‍රාත්තුව පසුගිය අප්‍රේල් මාසයේදී අවසන් විය. එහෙත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය නිමා වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට කෙටි සේවා දිගුවක් ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සහ ඉදිරියේදී පැවැත්වෙන තරගාවලි සඳහාත් සිල්වර්වුඩ් මහතාගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් සලකා බැලෙමින් තිබියදී සිල්වර්වුඩ් මහතා සිය කැමැත්තෙන් ඉල්ලා අස්වී තිබේ. 

ඉදිරියේදී පැවැත්වෙන තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පුහුණුකරුවකු සොයාගැනීම සඳහා අන්තර්ජාතික මට්ටමේ පුහුණුකරුවන් එකිනෙකාට කතාකළ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා දැන්වීම් පළකිරීමටත් සිදුවන බවද හෙතෙම පැවසීය. 

“අද ජාතික කණ්ඩායමකට පුහුණුකරුවෙක් හොයාගන්නවා කියන්නේ ලේසි නෑ... මොකද හුඟාක් පුහුණුකරුවෝ එක එක ලීග්වලට බැඳිලා.”

“ඒවායේ ඉන්නේ හොඳම ක්‍රීඩකයන් නිසා පුහුණුකරුවන්ටත් ඒ තරම් බරක් නෑ...එයාලා බොහොම පහසු ජීවිතයක් ගතකරනවා” යයි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 


අදහස් (0)

පුහුණුකරු සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.