Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 163 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (19 වැනිදා) සමත් විය. මෙය බංග්ලාදේශ කණ්ඩායමේ විශාලතම එක්දින ජයග්‍රහණය ලෙසද වාර්තා අතරටද එක්විය.
ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 32.2 ක් අවසානයේ ලකුණු 157 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු කුසල් පෙරේරාට මෙම තරගයේදී ලකුණු අතරට පැමිණීමට නොහැකි විය. නසිර් හුසේන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත්ව යන විට කුසල් ලබා සිටියේ ලකුණක් පමණි. පන්දු 35 කට මුහුණදුන් උපුල් තරංග හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් රැස්කළ අතර මෂ්රෆී මෙර්ටාසාගේ පන්දුවක් හමුවේ මහමදුල්ලා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි සහ තෙවැනි පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ට (19) සහ නිරෝෂන් දික්වැල්ලටද (18) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ. කෙටි ලකුණු ලබාගනිමින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සමගින් ලකුණු 28 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයෑමකට හසුවිය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ තිසර පෙරේරා පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළ අතර සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ මහමදුල්ලා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සකීබ්, අසේල ගුණරත්න ලකුණු 16 කටද, වනිඳු හසරංග ලකුණු ලබාගැනීමට පෙරද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරු තාවයකට ඇද දැමුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් ලබාගත්තේය. ලකුණු 35 ක් ලබා සිටියදී එනමුල් හක් දැවීයාමත් සමග බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 71 කට සීමා වූ අතර පන්දු 37 කදී වාර්තා වූ එනමුල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අතුළත් විය.
තිසර පෙරේරා විසින් යවන ලද බංග්ලාදේශ ඉනිමේ 14 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලබාදුන් උඩ පන්දුවක් දිනේෂ් චන්මාල් අතින් ගිළිහී යාම නිසා එනමුල් හක්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාවිය. එහෙත් ඉන් නිසා ප්‍රයෝජන ගැනීමට අසමත් වූ ඔහු, එම ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.
සුරංග ලක්මාල් යැවූ පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදීද එනමුල් හක් ලබාදුන් උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතින් ගිළිහී ගියේය. ගිළිහී ගිය පළමු උඩ පන්දුව ලබාදෙන විට එනමුල් ලකුණු 2 ක් ලබා සිටි අතර දෙවැනි උඩ පන්දුව ලබාදෙන විට ලකුණු 34 ක් ලබා සිටියේය.
ටමීම් ඉක්බාල් ලකුණු 84 ක් ලබා සිටියදී ධනංජයද සිල්වාගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබාදුන්නද, ප්‍රධාන විනිසුරු එය දැවී යාමක් නොවන බව ප්‍රකාශ කළේය. එහෙත් විනිසුරුවරයාගේ තීරණයට අභියෝගයට ලක්කරමින් එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට නායක දිනේෂ් චන්දිමාල් පියවර ගත්තේය. එම සිදුවීමට අදාල පුනරූපන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ටමීම් ඉක්බාල් දැවීගිය ක්‍රීඩකයෙක් බවට තෙවැනි විනිසුරු සංඥා කළේය. පන්දු 102 කදී වාර්තා වූ ඉක්බාල්ගේ 40 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.
ඉක්බාල් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සකීබ් අල් හසන් (67) ඉන් නොනැවතී මුෂ්ෆකුර් රහීම් (62) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 63 කට මුහුණදුන් ශකීබ් සිය 36 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 7 කින් සැරසූ අතර අසේල ගුණරත්නගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු රැස්කළ රහීම් දැවී ගියේ තිසර පෙරේරාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.
මහමදුල්ලා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කරමින්ද, සබීර් රෙහෙමාන් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක් රැස්කරමින්ද බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 න් ඔබ්බට රැගෙන යෑම සඳහා දායකත්වය සැපයූහ.
පාදයේ ආබාධක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර දිනේෂ් චන්දිමාල් විසින් කණ්ඩායම මෙහෙයවනු ලැබිණ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.