Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ යොවුන් පිලට ලකුණු 8 ක ජයක්

බංග්ලාදේශ යොවුන් පිලට ලකුණු 8 ක ජයක්

Nisanka Sandeepani - 2018 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යයට අනුව ලකුණු 8 කින් ජයගැනීමට බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ඕවර 43 කදී ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 20.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය නතර කරනවිට ඕවර 20.4 කදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ලකුණු 93 ක් ලබාගැනීමට තිබූ අතර එම අවස්ථාවේදී අවශ්‍ය ලකුණු සංඛ්‍යාව පසුකර තිබීම හේතුවෙන් ඔවුන්ට තරගයේ ජයග්‍රහණය හිමිවූහ.

අශේන් ඩැනියල් සහ නවෝද් පරණවිතාන එක්ව බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 43 ක් තුළ දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තරගයේ වැඩි වාසී අත්කර දීමට සමත්වුවද පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු සම්බන්ධතාවට ඊට හරස්විය.

පස්වැනි කඩුල්ල සඳහා පන්දු 67 කදී ලකුණු 58 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ශමීම් පත්වාරී සහ අක්බර් අලී බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත ඕවර 43 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 192 ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ වාර්තාවූ එකම අර්ධ ශතකයට හිමිකම්කී නවෝද් පරණවිතාන සිය අර්ධ ශතකය පන්දු 91 කදී ලබාගැනීමට සමත්විය. ශොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට පසුපසට දිවවිත් ශමීම් පත්වාරි රැකගත් අගනා උඩපන්දුව හමුවේ නවෝද් පරණවිතානගේ ඉනිම ලකුණු 83 කට අවසන්විය. පන්දු 127 කට මුහුණදුන් නවෝද්ගේ ඉනිම හතරේ පහර 7 කින් අලංකාර විය.

නායක නිපුන් ධනංජය (23) සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නවෝද් පරණවිතාන පස්වැනි කඩුල්ල සඳහා අවිශ්ක තරිඳු සමගින් එක්ව පන්දු 89 කදී ලකුණු 71 ක තවත් සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.

තරමක වේගවත් ලකුණු රැස්කිරීමට නිරත වෙමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකවූ අවිශ්ක තරිඳු, ශහීන් අලාම්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක අක්බර් අලී අතට උඩපන්දුවක් දෙමන් දැවීයන විට පන්දු 50 කදී ලකුණු 43 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් ද ඇතුළත් විය.

ආරම්භක පිතිකරු මුදිත ප්‍රේමදාස ලකුණු 4 කට සීමා කිරීමට ශොරිෆුල් ඉස්ලාම් සමත්වූ අතර පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලැබ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි මොහොමඞ් ශමාස්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 12 ක් පමණි. රිතුන්ජෝයී චෞද්‍රිගේ පන්දුවක් හමුවේ අමිත් හසන් අතට උඩපන්දුවක් දුන් ශමාස්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ වේගපන්දු යවන්නන් ක්‍රීඩාපිටිය පුරා ඔවුන්ගේ අණසක පතුරවමින් දැවීගිය කඩුලු නවයටම හිමිකම් කීමට සමත්වූහ. ශහීන් අලාම් කඩුලු 4 ක් ද, ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 3 ක් සහ රිතුන්ජෝයී චෞද්‍රි කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

අද උදෑසන ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පැයකුත් මිනිත්තු 45 ක් ප්‍රමාදවූ අතර තරගය දෙපිලටම ඕවර 43 කට සීමාවිය.
පළමු එක්දින තරගයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමෙන් නවීන් ප්‍රනාන්දු ඉවත් කර ලක්ෂාන් ගමගේ කණ්ඩායමට කැඳවා තිබූ අතර බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුනොකරමින් පළමු තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමම අද තරගයටද සහභාගි විය.


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිලට ලකුණු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.