Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බර ඉසිලීමේ විශේෂ තේරීම් තරගාවලි දෙකක්

බර ඉසිලීමේ විශේෂ තේරීම් තරගාවලි දෙකක්

editorial - 2020 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
(සුසිල් ප්‍රේමලාල්)
 
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ මූලික සුදුසුකම් මෙතෙක් සපුරාලීමට නොහැකි වූ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70 ක බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී විශේෂ තේරීම් තරග අවස්ථා 2ක් ලබාදීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය පොරොන්දු වී තිබේ. ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම් ජී. නිශාන්තන් මහතා පැවසූවේ‍ රටවල් 70 කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මග හැරී ගිය එම අවස්ථා දෙක ඉදිරියේදී ලබා දෙන බවට ජාත්‍යන්තර සම්මේලනය පොරොන්දු වී ඇති බවයි.

කසකස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ශූරතා බර ඉසිලීමේ තරගාවලිය (2020 - අප්‍රේල්) සහ නවුරු දිවයිනේදී පැවැත්වීමට නියමිතව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතා බර ඉසිලීමේ තරගාවලිය (2020 - මැයි) කොරෝනා ව්‍යසනය හේතුවෙන් කල් දැමීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් පියවර ගන්නා ලදි. එහෙත් එම තරගාවලි දෙකම ටෝකියෝ ඔලිම්පික් (2021) සුදුසුකම් ලැබීමේ තරගාවලි ලෙස නම් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ පළමු පෙළ බර ඉසිලීමේ ශූරයන් දෙදෙනෙකු වන තිලංග පලඟසිංහ (කිලෝ ග්‍රෑම් 61 බර පංතිය) සහ ඉන්දික දිසානායක (කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය) ටෝකියෝ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් ඉහත කී තරගාවලි දෙකට සහභාගි කරවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය කටයුතු යොදා තිබුණි.

“බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් හිටියා. ඒ සඳහා අපි තිලංග සහ ඉන්දික තමයි තෝරාගෙන තිබුණේ.....“
 
“ඔවුන් දෙදෙනාම ඒ සඳහා හොඳ ශරීර ශක්තියකින් සහ විධිමත් ලෙස පුහුණු කටයුතු කරමින් සිටියේ. අවාසනාවකට අප්‍රේල් ආසියානු ශූරතාව සහ මැයි පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාව කොරෝනා ව්‍යසනය හේතුවෙන් දින නියමයක් නැතුව කල් දමා තිබෙනවා’’ යැයි ජී. නිශාන්තන් මහතා පැවසීය.
 
වසර පුරාම ජාතික සංචිත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩාව බර ඉසිලීමේ ක්‍රීඩාවයි. මේ වන විටද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 32 කගෙන් සමන්විත සංචිතයක් ඇති අතර, එයිට ක්‍රීඩකයෝ 20ක් සහ ක්‍රීඩිකාවෝ 12ක් ඇතුළත් වෙති.

‘‘දැනට පවතින කොරෝනා තත්ත්වය නිසා ජාතික සංචිතයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිවෙස්වලට යවා තිබෙනවා. එම පිරිසට තම තමන්ගේ ශාරීරික ශක්තිය සමබරව පවත්වාගෙන යාම සඳහා ජාතික පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා දුරකථන මගින් සහ අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කරනවා.“
 
“ජාතික සංචිතය නිවෙස්වල සිට පුහුණුවීම්වල නිරත වූවාට ඔවුන්ගේ විශේෂ පසුබැසීමක් ඇති වන්නේ නැහැ. ඒ වගේම විවිධ ආබාධ තිබූ කිසියම් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සිටියා නම් මෙම විවේකයෙන් ආබාධ්‍ය යථා තත්ත්වයට පත් කර ගැනීමේ අවස්ථාව තිබෙනවා’’ යැයි සම්මේලනයේ ලේකම් ජී. නිශාන්තන් මහතා වැඩිදුරටත් පැවසීය.
 
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී තිබූ බර ඉසිලීමේ ක්‍රීඩාව දිස්ත්‍රික්ක රැසක සහ පාසල් විශාල සංඛ්‍යාවක ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව තිබේ.

දේශීය පුහුණුකරුවන් 25 දෙනෙකුගේ අධීක්ෂණයෙන් (ක්‍රීඩා නිලධාරීන්) ක්‍රියාත්මක බර ඉසිලීමේ ක්‍රීඩාව කොළඹ, කුරුණෑගල, මහනුවර, පොළොන්නරුව, අනුරාධපුර, ගාල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක ඒ අතරින් ප්‍රධාන වන අතර ශ්‍රී ලංකා වාර්තා ඇතුළු දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කොට ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවෝද වෙති.

තහනම් උත්තේජක බහුල වශයෙන් භාවිතා කළ ක්‍රීඩාවක් ලෙස වරෙක ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ක්‍රීඩාව ප්‍රචලිතව තිබූ නමුදු පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නිරන්තර දැනුවත් කිරීම් හමුවේ වත්මන් බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එම තත්ත්වයෙන් මිදී සිටිති.
 
බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල යටතේ පදක්කම් කිහිපයක් දිනා ඇති අතර, ඒ අතරින් චින්තන විදානගේ 2006 මෙල්බර්න් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ප්‍රථම රන් පදක්කම දිනා ගැනීම ද කැපී පෙනේ. අවසන්වරට කත්මණ්ඩු (2019) දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

 


අදහස් (0)

බර ඉසිලීමේ විශේෂ තේරීම් තරගාවලි දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.