Last Update  :  2024-12-27 12:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බොහෝ ඈතින් බලාපොරොත්තුවේ පහන් සිළක්
ඛෙබාරා ටෙස්ට් තරගය

බොහෝ ඈතින් බලාපොරොත්තුවේ පහන් සිළක්

editorial - 2024 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගය ජයගැනීමත්, තරගාවලිය සමකිරීමත් පිළිබඳ බලාපොරොත්තු තබමින්, ලකුණු 348 ක ඉලක්කයක් කරා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 122 කට බිඳ වැටිණ. එහෙත් නායක ධනංජය ද සිල්වා (නොදැවී 39) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 39) එක්ව ගොඩනංවා තිබෙන ලකුණු 83 ක අඛණ්ඩ බලාපොරොත්තුව නිසා බොහෝ ඈතින් බලාපොරොත්තුවේ පහන් සිළක් දැල්වී තිබේ. 

ඛෙබාරා නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (8 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබා සිටියේය. ශ්‍රි ලංකාවේ ජයග්‍රහණයට තවත් ලකුණු 143 ක් අවශ්‍ය වන අතර ඒ සඳහා සම්පූර්ණ දිනයක් ඉතිරි වී ඇතත් ශ්‍රී ලාංකිකයන් අතර ඇත්තේ අවසන් කඩුලු 5  පමණි. 

ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිම මඟහැරී ගිය අවස්ථාවන්ගෙන් බහුල එකක් විය. දිමුත් කරුණාරත්න හැරෙන්නට අනෙක් සියලු දෙනාම ඉලක්කම් දෙකින් කියැවෙන ලකුණු ලබාගත්තත් කිසිවකුට ලකුණු 40 සීමාවෙන් එතෙර විය නොහැකි විය. 

දෙවැනි ඉනිමේදී ලකුණු 317 ක් ලබාගත් දකුණු අප්‍රිකානුවෝ තරගය ජයගැනීමට නම් ලකුණු 348 ක් ලබාගන්නා ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝග කළහ. පළමු තරගය ජයගත් දකුණු අප්‍රිකාව මේ වන විටත් 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 317 කට සීමාකර ගැනීමේදී සාර්ථක පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය (129/5) ශ්‍රී ලංකාවෙන් පිටතදී පළමු වතාවට ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේය. එය ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් 10 වැනි අවස්ථාවයි. 

බවුමා පිටියේ රැඳී සිටියදී කඩුලු 4 කට ලකුණු 259 ක් ලබා සිටි සත්කාරකයෝ කඩුලු 6 ක් ඇතැතිව ලකුණු 300 ක වාසියක් පෙනෙන දුරින් සිටියහ. ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට ‘ස්වීප්’ පහරක් ගැසීමට යාමෙන් බවුමා දැවීයාමත් සමගින් ලකුණු 36 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ වැටිණ. එහෙත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 27 ක් එක්කළ කේෂව් මහාරාජ් සහ ඩේන් පැටර්සන් ලකුණු සංඛ්‍යාව 317 දක්වා ඉදිරියට ගෙන ගියහ. 

ජයසූරියට කදිම සහයෝගයක් දුන් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ තිදෙනාම, තණතීරුවේ අනෙක් අන්තයෙන් පිතිකරුවන් වෙත එල්ල වන පීඩනය පවත්වාගෙන යමින්, සාර්ථක පන්දු යැවීමක නිරතව සිටියහ.

දකුණු අප්‍රිකානු පිතිකරුවන් නිදහසේ තම වාසිය වැඩිකරමින් ගියද ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීමෙන් නිර්මාණය වූ බාධක හේතුවෙන් ඔවුන්ගේ ගමන අඩාළ විය. වේගවත්ම ටෙස්ට් කඩුලු 100 ලබාගනීම අතින් එංගලන්තයේ ජොර්ජ් ලෝමන්ට පමණක් දෙවැනි වන වමත් දඟ පන්දු යවන්නා ටෙස්ට් තරග 18 කදී මෙතෙක් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 107  කි. 

නායක ටෙම්බා බවුමා (66) සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් (47) අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 104 ක සම්බන්ධතාව බිඳී ගියේ ස්ටබ්ස් දුවද්දී දැවී යාමෙනි. ළහිරු කුමාරගේ පන්දුවක් ‘පුල්’ පහරකින් මිඩ් විකට් කලාපයට යැවූ බවුමා ලකුණු දෙකක් බලාපොරොත්තු වූවත් දිමුත් කරුණාරත්න හිතුවාටත් වඩා වේගයෙන් පන්දුව කරා පැමිණ එය පන්දු යවන්නාගේ අන්තයට යැවීය. ළහිරු කුමාරට තිබුණේ පන්දුව බාරගෙන කඩුල්ල කඩා දැමීම පමණි. 

හෙට තරගයේ අවසන් දිනයයි. 


- 213


අදහස් (0)

බොහෝ ඈතින් බලාපොරොත්තුවේ පහන් සිළක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.