Last Update  :  2024-12-27 20:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ රැක ගනිති
පළමු පෙළ රග්බි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ රැක ගනිති

editorial - 2024 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ දෙවැනි සතිය නිමාවට පත්වන විට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. තරග දෙකකට සහභාගි වී ප්‍රසාද ලකුණද සමග එම තරග දෙකම ජය ලබා සිටින මහනුවර ක්‍රීඩා සමාජය මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 12 කි. 

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයද සහභාගි වූ තරග දෙකම ප්‍රසාද ලකුණ සමග ජයගැනීමට සමත්ව සිටින නමුත්, එම තරගවලදි ලබාගත් ලකුණු සංඛ්‍යාවන් සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු සංඛ්‍යාවන් අතර පරතරය අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. මහනුවර කණ්ඩායමේ ලකුණු පරතරය 112 ක් වන අතර හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු පරතරය 29 කි. 

පළමු සතියේදී විවේකයක් ලබා සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය දෙවැනි සතියේදී තරග බිමට අවතීර්ණ වෙමින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පහසු ජයක් ලැබීය. ඒ අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණද සමග ලකුණු 6 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වීමට හැකි විය. ගුවන් හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයද ප්‍රසාද ලකුණ සමග එක් තරගය බැගින් ජය ගෙන පිළිවෙළින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති. 

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩයමේ තරින්ද රත්වත්තේ සමත්ව සිටියි. උත්සාහක දිනුම් 2 ක්, ප්‍රවර්ථනයන් 14 ක් සහ දඬුවම් පහර 6 ක් සමග ඔහු රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 56 කි. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන හැව්ලොක්ස් කණ්ඩයමේ සැමුවෙල් මධුවන්ත ලකුණු 28 ක් ලබා සිටින්නේ උත්සාහක දිනුම් 2 ක්, ප්‍රවර්ථනයන් 6 ක් සහ දඬුවම් පහර 2 ක් සමගිනි. 

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි. 

දෙවැනි සතියේ තරග ප්‍රතිඵල 

  • සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 39-27 කින් පොලිසිය පරදවයි. 
  • මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 70-05 කින් යුද හමුදාව පරදවයි. 
  • හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 30-19 කින් ගුවන් හමුදාව පරදවයි. 
  • සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 43-13 කින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරදවයි. 

 

 

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ රැක ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.