Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දේශීය රග්බි පිටියේ නොම්මර එකේ කණ්ඩායම තමන් බව නැවත වතාවක් තහවුරු කළ මහනුවර ක්‍රීඩා සමාජය නාවික හමුදා පිල ලකුණු 41-17 කින් පරදවා තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි ශූරතාවට හිමිකම් කීමට සමත්ව සිටී. නාවික හමුදාව සහ මහනුවර පිල අතර තරගය සෙනසුරාදා (27) වැළිසරදී පැවැත්විණ.
තරගාවලිය පුරා තවමත් සිය අපරාජිතබව රැකගෙන සිටින සෙංකඩගල ක්‍රීඩකයෝ ඊයේ තරගයත් සමග තරග 12ක් එක දිගට ජයගත්හ.
තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 34-3 කින් පෙරමුණ ගෙන නැවියෝ බිමට ඇද දැමූ මහනුවර පිල තරගය නිමා කළේ ගෝල් 3ක්, දඬුවම් උත්සාහක දිනුමක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් සමගිනි. නැවියන් ලැබුවේ ගෝල් 2ක් සහ දඬුවම් පහරක් පමණි.
තිළිණ වීරසිංහ දඬුවම් පහරක් සාර්ථක කරමින් තරගයේ 6 වැනි මිනිත්තුවේදීම නාවික හමුදා පිලට ලකුණු 3ක් ගෙනදීමට සමත්වුවත් 10 වැනි මිනිත්තුවේදී අගනා උත්සාහක දිනුමක් තැබූ ජේසන් දිසානායක මහනුවර පිල ලකුණු 5-3 කින් ඉදිරියට ගෙන ගියේය.
අනතුරුව බුවනෙක උඩංගමුව තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ නයිජල් රත්වත්ත මහනුවර පිල ලකුණු 12-3 කින් ඉහළට ඔසවා තැබුවේය.
ඊට මිනිත්තු කිහිපයකට පසුව ලවංග පෙරේරාගේ විශිෂ්ට උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ දමාගනිමින් නැවියන් සෙල්ලමකට ගත් මහනුවර පිලට දිමිත්‍රි විජේතුංග සහ රිචඞ් ධර්මපාල පිට පිට තැබූ උත්සාහක දිනුම් 2 ක්ම ගෙන දුන්නේය.
ඒවා ගෝල බවට ප්‍රවර්තනය කරනු ලැබූ නයිජල් රත්වත්ත අනතුරුව දඬුවම් පහරක් ද සාර්ථක කරමින් ලකුණු සංඛ්‍යාව 34-3 ක් ලෙස ඉහළ දැමුවේය.
දෙවැනි භාගයේදී තරමක් වෙනස් ආකාරයෙන් තරගයට පිවිසි නාවික හමුදා පිලේ පළමු උත්සාහක දිනුම වාර්තා කරනු ලැබුවේ දුලාංජන විජේසිංහ විසිනි. තිළිණ වීරසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දමාගැනීමට නැවියෝ සමත්වූහ.
ඊට මිනිත්තු කිහිපයකට පසුව මොහොමඞ් අබ්සාල් තැබූ උත්සාහක දිනුමක් තිළිණ වීරසිංහ විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු 17 දක්වා ඉදිරියට යාමට නැවියන්ට හැකිවිය. එහෙත් එතැනින් එහාට අඩියක්වත් තැබීමට ඉඩ නොදුන් මහනුවර පිල තරගය නිමා කළේ පැනල්ටි ට්‍රයි දිනුමකිනි.
එය සිදුවූයේ රිචඞ් ධර්මපාල සිය දෙවැනි උත්සාහක දිනුම කරා යමින් සිටියදී නාවික හමුදා පිලේ සුපුන් ඩිල්ෂාන් නීතිවිරෝධී ලෙස බිමට ඇද දැමීමෙනි. රූපවාහිනි විිනිසුරුගේද සහය ලබමින් තරග තීරක සිංගප්පූරු ජාතික චාලි බ්‍රවුන් කහ කාඞ් පතෙන් සුපුන්ට අවවාද කර ඔහු පිටියෙන් ඉවතට යවා මහනුවර පිලට පැනල්ටි ට්‍රයි දිනුමක් දුන්නේය.
ලබන සතියේදී යුද හමුදා කණ්ඩායමත්. ඊළඟ සතියේදී හැව්ලොක්ස් පිල සමගත් තරග වැදීමට නියමිතව සිටින මහනුවර පිල එම තරග 2 ම පරාජයට පත්වූවත් ලීග් ශූරතාව නම් ගිලිහී නොයනු ඇත.
වසර 1994 දී පළමු වතාවට ලීග් ශූරතාව දිනූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අත්පත් කරගත්තේ සිය 19 වැනි ලීග් කිරුළයි. එවැඩිම ලීග් ශූරතා දිනු කණ්ඩායම වන්නේ ද මහනුවර පිලයි.
මීට පෙර 2001 සිට 2011 දක්වා අඛණ්ඩව ලීග් රග්බි කිරුළ රැකගත් මහනුවර පිල අනතුරුව 2015 වසරේ සිට තවමත් කිසිවකුට එය උදුරාගැනීමට ඉඩ දී නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.