Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේසපන්දු නිලවරණයට කණකොකා හඬයි

මේසපන්දු නිලවරණයට කණකොකා හඬයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සභාපති ධූරය සඳහා තරග වැදීමට ඉදිරිපත්ව සිටින දයා සමරවීර මහතා සිය ප්‍රතිවාදියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමුකරන ලද විරෝධතාවක් හේතුවෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලවරණය දෙවැනි වරටත් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව ඇති බව වාර්තා වේ.  

එම සංගමයේ නිලවරණය ඉකුත් සඳුඳා (10 වැනිදා) රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිව තිබිණ. එහෙත් ඊට දින තුනකට පෙර එනම් පසුගිය සිකුරාදා (7 වැනිදා) පස්වරුවේ විරෝධතාවක් ඉදිරිපත්ව තිබෙන බැවින් නියමිතව තිබූ දිනයට නිලවරණය නොපත්වන ලෙසට ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයෙක් මේසපන්දු සංගමයේ ලේකම්වරයාට කරන ලද දැනුම් දී ඇති බවද වාර්තා වේ.  

මේසපන්දු සංගයමයේ නිලවරණය කල් දැමූ දෙවැනි අවස්ථාව මෙය වන අතර සංගමයේ ගිණුම් වාර්තා රජයේ විගනකාධිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට ප්‍රමාද වීම නිසා මින් පෙර අවස්ථාවකදී ද එය එය නියමයකින් තොරව කල් දැමිණ. එවර නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය මැයි මස 26 වැනිදාය.

ගිණුම් වාර්තා සඳහා විගනකාධිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව මේ මස 10 වැනිදා නිලවරණය පැවැත්වීමට යොදාගෙන තිබුණු නමුත් දයා සමරවීර මහතාගේ විරෝධතාව හේතුවෙන් එය යළිත් වරක් කල් දැමීමට සිදුව තිබේ.

කනක හේරත් මහතා මේසපන්දු ක්‍රීඩාවේ නිරත වී නැති අයෙක් බවත්, මේසපන්දු ක්‍රීඩාවේ නිරත වී ඇති බව සනාත කිරීම සඳහා ඔහු ඉදිරිපත්කර ඇති සහතික පිළිගත නොහැකි බවත් සමරවීර මහතාගේ විරෝධතාවයේ සඳහන් වේ.

නිලවරණය පැවැත්වීම සඳහා දින යොදාගත් දිනයේදීම නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීමක්ද සිදුකෙරුණ අතර එහිදී සභාපති ධූර අපේක්ෂකයන් දෙදෙනාම ඔවුනොවුන්ට එරෙහිව විරෝධතා ඉදිරිපත්කර තිබිණ.

කෙසේ වෙතත් එම විරෝධතා විභාග කළ අවස්ථවේදී ඒවා සනාත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිලිකාර පාර්ෂවයන් අසමත් වීමත්, ඒවා නිෂ්ප්‍රභා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර පාර්ශවයන් සමත් වීමත් නිසා ඔවුන් දෙදෙනාගේම නාමයෝජනා අනුමත කිරීමට එදින නිලවරණ කමිටුව පියවර ගෙන තිබිණ.

ඒ අනුව 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණයේදී සභාපති ධූරයා සඳහා ඔවුන් දෙදෙනා අතර ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබිණ. එවැනි තත්ත්වයක් තිබියදී නැවත වරක් කනක හේරත් මහතාට එරෙහිව විරෝධතාවක් ඉදිරිපත් කිරීමෙන් සමරවීර මහතා බලාපොරොත්තු වී ඇත්තේ ඡන්දයකට නොගොස්, හේරත් මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරවා නිතරගයෙන් සභාපති ධූරයට පත්වීම යැයි කනක හේරත් මහතාගේ පාර්ශවයෙන් ඔහුට චෝදනාවක් එල්ල කර තිබේ.

 


අදහස් (0)

මේසපන්දු නිලවරණයට කණකොකා හඬයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.