Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිනෝද් - අවිෂ්ක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති

මිනෝද් - අවිෂ්ක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඕවර 31.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මිනොද් භානුක පන්දු 87 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් සමග නොදැවී ලකුණු 113 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

අවිෂ්ක ප්‍රනාන්දු (89) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 155 ක සම්බන්ධතාවක් ගොඩනැගූ භානුක, ඉන් නොනැවතී ඇන්ජලෝ පෙරේරා (නොදැවී 35) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු ලකුණු 70 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ශතකය පෙනි පෙනී සිටියදී ජේම්ස් කැමරන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලෝකන් ටකර් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක දැවී යෑමත් සමග දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳවැටුණ. පන්දු 67 කට මුහුණදුන් අවිශ්ක හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසීය. පන්දු 21 කදී වාර්තා වූ ඇන්ජලෝගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 47 ක්ව තිබියදී ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ පළමු කඩුල්ල ලෙස උපුල් තරංග පිටියෙන් ඉවත් කිරීමට ජේම්ස් කැමරන් සමත් වූ අතර ක්‍රේග් යංග් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 12 කට මුහුණදී සිටි තරංගගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 268 ක් ලබා ගත්තේය. එහිදී පන්දු 111 කට මුහුණදුන් නායක හැරී ටෙක්ටර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 103 ක් රැස්කළේය.

ෂේන් ගෙට්කේට් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 181 කදී ලකුණු 178 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටෙක්ටර් සමත් විය. පන්දු 93 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 86 ක් ලබා සිටි ගෙට්කේට් දවාගැනීමට ඉසුරු උදාන සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 84 ක් වන විට අයර්ලන්ත ‘ඒ’ ඉනිමේ මුල් පිතිකරුවන් සිවුදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදාන ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳහෙළීය.


-036

 


අදහස් (0)

මිනෝද් - අවිෂ්ක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.