Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිටිය විසිකිරීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

මිටිය විසිකිරීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Nisanka Sandeepani - 2017 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මිටිය වීසි කිරීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මනෝජි අමරසිංහ සමත් වූවාය.

ඇය විසින් මිටිය විසිකරන ලද දුර මීටර 48.76 කි. මනෝජි විසින් ආර්.කේ. ඒ. මධුවන්තිගේ පැරණි ශ්‍රී ලංකා වාර්තාව (මීටර 48.08 - 2017 බැංකොක් නුවරදී) බිඳ දමමින් දස්කම් දැක්වූවාය. 

මධුවන්තිගේ මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ දස්කම් මීටර 43.36 ක් දක්වා පහළ වැටී තිබිණ. මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන විට බිහිවී තිබුණේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පමණි.

පළමු නව ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ උතුරු පළාතේ ජෙගතීෂ්වරන් අනීතාය. ඒ රිටි පැනීම (කාන්තා) ඉසව්වේදී මීටර 3.48 ක දක්ෂතාවක් පෙන්වමිනි. 

උස පැනීම (පිරිමි) ඉසව්ව සුපුරුදු ලෙස මංජුල කුමාර විජේසේකර  ජය ගත්තේ මීටර් 2.18 ක් පනිමිනි. වසර 2000 සිට මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරන ඔහු වැඩිම වාර ගණනක් මෙම ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා දිනාගත් ක්‍රීඩකයායි.

33 හැවිරිදි මංජුල කුමාර වසර 2010 සිට 2015 දක්වා අඛණ්ඩව ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත්ව සිටියි.

කොටවිල ක්‍රීඩා සංකිර්ණයේ තණකොළ සහිත ධාවන පථයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අවම මට්ටමකට පැමිණ තිබුණි. 

තුර්ක්මෙනිස්ථානයේදී දැන් පැවැත්වෙන පස්වැනි ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලට සහභාගි වී පෙරළා දිවයිනට පැමිණ කොටවිල ධාවන පථයේ තරග වැදුණු ගයන්තිකා අබේරත්න විනාඩි 2 තත්ත්පර 07.4 කට මීටර 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.

ඇය ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවයි. දකුණු පළාත නියෝජනය කරමින් ඇය ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගි වූවාය.

 මෙවරත් උස පැනීම (පිරිමි) රන් පදක්කම දිනා ගත් මංජුල කුමාර විජේසේකර ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකර ගත් ක්‍රීඩිකයායි.

එහිදී රිදී පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා මීටර 800 ක්‍රීඩක ඉඳුනිල් හේරත් මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 1 තත්පර 52.4 කටය.

 ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේදී දුර පැනීම (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අමිල ජයසිරි මෙවර ජාතික ක්‍රීඩා උළෙලට සහභාගි නොවූ අතර එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මධ්‍යම පළාත නියෝජනය කරමින් තරග වැදුණු ප්‍රසාද් විමලසිරිය. ඒ මීටර 7.83 කටය. ඔහු වසර කීපයකට පසුව එම ඉසව්වේ දැක්වූ හොඳම දක්ෂතාවයයි.

 මෙවර ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ සහභාගිත්වය වෙනුවෙන් කොටවිල ක්‍රීඩාංගණ ප්‍රධාන මණ්ඩපයේ පැවැති මාධ්‍ය හමුවේදී ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසුවේ මෙම පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනාගෙන් දෙදෙනකුවත් ලබන මාර්තු මාසයේ  එංගලන්තයේ “බර්මින්හැම්” නුවරදී පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

ඉරිදා උදෑසන පැවැති මීටර 10,000 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම සබරගමුව පළාතේ ඒ.එන්.එල්. ආරියදාස විසින් දිනා ගන්නා ලදී. ඒ විනාඩි 36 තත්ත්පර 56.54 කටය.

මෙහි ජාතික තරග වාර්තාව වසර 42 ක් තිස්සේ නොබිඳී පවතින අතර ඒ විනාඩි 29 තත්ත්පර 18 කට 1975 දී එස්.එල්.බී. රෝසා විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා වාර්තාවයි. ලයනල් සමරජීව මීටර 5,000 පිරිමි ඉසව්වේ රන් පදක්කම විනාඩි 14 තත්ත්පර 59.35 කට ඊයේ දිනා ගත්තේය. 

සෙනසුරාදා මලල ක්‍රීඩා ඉසව් නිමාවට පත් කරමින් පැවැති මීටර 4x100 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගත් බස්නාහිර පළාත් කණ්ඩායමට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතාවයක් සළකා බලමින් ඔවුන්ගේ ජයග්‍රහණ අවලංගු කිරීමට ගත් තීරණය කෙරිණ. 

දෙවැනි අදියර යෂ්ඨි හුවමාරුවේදී ඔවුන්ගේ ක්‍රීඩකයා සළකුණු සීමාවෙන් පිටතට පැමිණ යෂ්ඨිය ලබා ගත් බවට එල්ල වූ විරෝධතාවයක් සළකා බලමින් එහි රන් පදක්කම දෙවැනි ස්ථානයට පත් නැගෙනහිර පළාත් කණ්ඩායමට ප්‍රදානය කෙරිණ. 

 මේ අතර හෙල්ල වීසිකිරීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම මීටර 56.19 කට දිල්හානි ලේකම්ගේ විසින් දිනා ගනිද්දී උස පැනීමේ ක්‍රීඩිකා දුලාංජලී රණසිංහ බස්නාහිර පළාත නියෝජනය කරමින් මීටර 1.70 කට එහි රන් පදක්කම දිනා ගත්තාය.

ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි 


අදහස් (0)

මිටිය විසිකිරීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.