Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යගුලිය විසිකිරීමෙන් නව වාර්තාවක්

යගුලිය විසිකිරීමෙන් නව වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බදුල්ලේදී ඊයේ (23 වැනිදා) ආරම්භ වූ 28 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ පළමු දිනය එකම නව තරඟ වාර්තාවකට පමණක් සීමාවිය. යගුලිය විසි කිරීම වයස 20න් පහළ (පිරිමි) ඉසව්වෙන් මීටර 16.13 ක දක්ෂතාවයක් පෙන්වමින් වසර පහක් පැරැණි එම වාර්තාව ඊයේ බිඳ දැමුවේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු මලින්ද මධුශංඛ විසිනි.

එහිදී පැරැණි වාර්තාව මීටර එකකින් ඉදිරියට ගෙන ගිය මධුශංඛ වසර 2012 තරගාවලියේදි යාපනය දිස්ත්‍රික්කයේ ආර්. නිමලේන්ද්‍රන් මීටර 15.13 කට පිහිටුවා තිබූ පැරැණි වාර්තාව ඔහු අතින් ඊයේ බිඳ වැටුණි.මෙම ඉසව්වට ඉදිරිපත්වූ වෙනත් කිසිදු ක්‍රීඩකයකු මීටර 14 ක් අභිබවා යාමට සමත් නොවීය.

යගුලිය විසි කිරීම (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ දක්ෂතාවය වන්නේ මිටර 17.03 කි. ඊට හිමිකම් කියන්නේ එරික් කපුකොටුව විසිනි. ඒ අනුව මධුෂංඛ ක්‍රීඩකයා යගුලිය විසි කිරීම (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට ආසන්න වෙමින් දක්ෂතා දක්වා තිබේ. ඒ අනුව ඉදිරියේදී ඔහු ජාතික යගුලිය විසි කිරීමේ ශූරයෙකු බවට පත්වන ලකුණු දැනටමත් පළකර තිබෙන බව පෙනේ.

මෙවර ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග හෙට සහ අනිද්දාත් (24-25) බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊයේ මළල ක්‍රීඩා ඉසව් 18 ක අවසන් තරග පැවැත්වුණි.

මෙවර ක්‍රීඩා උළෙලේ වඩාත්ම අවධානය දිනාගත් දැල්පන්දු (පිරිමි) තරඟාවලියේ අවසන් මහ තරඟය ජයගත් යාපනය දිස්ත්‍රික් කණ්ඩායම මෙවරත් එහි ශූරතාව දිනා ගැනීමට සමත්විය. අද දහවල් වින්සන්ට් ඩයස් පිටියේදී පැවැති අවසන් මහ තරඟයේදී යාපනය ක්‍රීඩකයෝ ලකුණු 43-32 ක පහසු ජයක් ලැබූහ. එහිදී තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බාලක්‍රිෂ්ණන් සයින්තිරන් සම්මාන ලැබීය.

දැල්පන්දු කාන්තා තරඟාවලියේ මෙවර ජයග්‍රහණය හිමිවූයේ මහනුවර දිස්ත්‍රික්ක කණ්ඩායමටය. අවසන් මහ තරගයේදි ලකුණු 62-33 ක පහසු ජයක් අත්කර මහනුවර කණ්ඩායමේ තිළිණි වත්තේගෙදර මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.

මේ අතර ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු අවසන් මහ තරගය අද දක්වා අත්හිටවූ අතර බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම හා මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම අතර එම තරඟය හෙට පස්වරු 4.00 ට වින්සන්ට් ඩයස් පිටියේදී පැවැත්වේ.

28 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය ඉරිදා පස්වරු 3.00 ට ඇමැති හරේන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඊයේ දිනය නිමාවන විට ගියවර සමස්ත ශූරතාව දිනාගත් ගම්පහ දිස්ත්‍රික්කයට වඩා වැඩි ලකුණු දෙකකින් කොළඹ දිස්ත්‍රික්කය පෙරමුණට (54-52) පැමිණ තිබුණි. එතෙක් මුලතිව් හා පොළොන්නරුව යන දිස්ත්‍රික් එකම ලකුණක් හෝ ලබා ගැනීමට අපොහොසත්ව තිබුණි.

මේ අතර හෙට පැවැත්වෙන වොලිබෝල් කාන්තා හා පිරිමි අවසන් මහ තරග දෙකටම කෑගල්ල කණ්ඩායම් තේරී සිටීම කැපී පෙනේ. කෑගල්ල කණ්ඩායම හා ගම්පහ කණ්ඩායම අතර පිරිමි අවසන් මහ තරගයද කෑගල්ල කණ්ඩායම හා මාතර කණ්ඩායම අතරද කාන්තා අවසන් මහ තරගයද හෙට පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

 

 


අදහස් (0)

යගුලිය විසිකිරීමෙන් නව වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.