Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන් අබේකෝන් කොළඹට

යුපුන් අබේකෝන් කොළඹට

editorial - 2024 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)
 
කොළඹ  සුගතදාස  පිටියේදී  අඟහරුවාදා (25) ආරම්භ වන 102 වැනි ජාතික  මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සදහා  ඉතාලියේ  වෙසෙන  ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන්  ප්‍රියදර්ශන  අබේකෝන් අද (24) දිවයිනට ළගා වන බව ශ්‍රී  ල‍‍ංකා  මලල ක්‍රීඩා ආයතනය  පවසයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 දෙනෙකු පමණ මෙවර ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි  වන අතර එය බදාදා  හා බ්‍රහස්පතින්දා (26 -27) යන දිනවලදීත් සුගතදාස  පිටියේදී  පැවැත්වේ. 

මීටර් 100 (පිරිමි) ඉසව්වට තරග වැදීම සදහා ඔහු දිවයිනට  ළගා වන අතර කොළඹදී  ජාතික  තරගාවලියට  ඔහුගේ සහභාගිවීමේ ප්‍රධානතම  අරමුණ  වන්නේ 2024 පැරිස් ඔලිම්පික්  උළෙල  සදහා එකී ඉසව්වෙන්  නිර්දේශ  ලබා ගැනීමේ  තවත්  උත්සාහයක නිරතවීමය. කෙසේවුවත් කොළඹට පැමිණෙන  ඔහු ඉරිදා (30)  මලල  ක්‍රීඩා ආයතනය  සූදානම් කර තිබෙන විශේෂ තේරීම් තරගාවලියටත් සහභාගිවීමට තීරණය කර තිබේ. 

මෙම තේරීම්  තරගාවලියේ සුවිශේෂී  වැදගත්කම  වන්නේ  එය පැරිස්  ඔලිම්පික් නිර්දේශ  ලබා ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උත්සාහ දැරිය හැකි අවසන්  තරග අවස්ථාව බවට පත්වීමයි. එසේම මෙම  දිනය ලොව පුරා මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිර්දේශ  ලබා ගැනීමට  ලැබෙන අවසන් දිනයයි.

යුපුන් අබේකෝන්  මෙරට තරගාවලියකට සහභාගි වන්නේ 2019 න් පසුවයි. අවසන්  වරට වසර 2019 අගෝස්තු 28 වැනිදා  කොළඹදී යුද හමුදා  තරගාවලියට  සහභාගිවීම ඔහුගේ මෙතෙක්  සහභාගිවූ අවසන්  දේශීය  තරගාවලියයි. එහිදී  ඔහු මිටර්  100 (පිරිමි ) ඉසව්වෙන්  තත්පර  10.44 ක දක්ෂතාවයක්  දක්වා තිබේ.

කෙසේවුවත්  යුපුන්  කොළඹට ළගා වන විට ලෝක ශ්‍රේණිගත  කිරිම් අනුව මිටර් 100 (පිරිමි) ඉසව්වෙන් පසුවන්නේ 78 වැනි ස්ථානයේය. පැරිස්  ඔලිම්පික්  සදහා  එහිදී සුදුසුකම්  ලේඛනයෙන්, පංගු (වයිල්ඩ් කාඩ්) ක්‍රමයෙන්  හා  ප්‍රසාද ලකුණු යන ක්‍රම තුනෙන්ම තෝරා ගන්නේ ක්‍රීඩකයන් 56 දෙනෙකු  පමණි.
ඒ අනුව ඔහුගේ මෙවර පැරිස්  ඔලිම්පික්  උත්සාහය  මේ වන විට දැඩි අභියෝගයක් බවට පත්ව තිබේ. 

කෙසේවුවත් ලෝක මලල  ක්‍රීඩා  ආයතනය  බී කාන්ඩයේ තරගාවලියක් ලෙස  නිර්දේශ  කර ඇති ශ්‍රී ලංකාවේ ජාතික  මලල  ක්‍රීඩා ඉසව් ජයග්‍රහකයෙකුට ඔහුගේ මුළු ප්‍රසාද ලකුණු ගොන්නට ලකුණු  100 ක් එකතුවේ.
ඒ අනුව ප්‍ර්‍රසාද ලකුණු  ක්‍රමයෙන්  හෝ පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ලබා ගැනීමේ ඔහුගේ උත්සාහයට කොළඹ  තරග සහභාගිත්වය වැදගත් වේ. ඉරිදා  පැවැත්වෙන  විශේෂ  තේරීම් තරගාවලියට ලෝක සංගමය සී කාන්ඩයේ තත්වය ලබාදී තිබේ. 

යුපුන්  දකුණු  ආසියාවේ වඩාත්ම  අවධානය දිනා ගත් කෙටි ධාවකයෙකු බවට පත්ව සිටින්නේ 2022 සූරිච්  නුවරදී  ඔහු මීටර් 100 (පිරිමි) ඉසව්ව තත්පර  9.96 කට නිමා කිරීමෙන් තව දුරටත් දකුණු  ආසියාවේ  වේගවත්ම මිනිසා  බවට පත්ව සිටීමයි.

 පැරිස් ඔලිම්පික් මීටර් 100 ඉසව්වේ සුදුසුකම් ලේඛනයේ ක්‍රීඩකයෙකු සදහා  අවම නිර්දේශය  තත්පර  10.00 කි. කෙසේවුවත්  යුපුන්ගේ 2022 සූරිච් නුවර දක්ෂතාවය  පැරිස් ඔලිම්පික් නිර්දේශ  නිල කාල වකවානුවට ගැනෙන්නේ නැත.
    
තරුෂි කරුණාරත්න (මීටර් 800  -කාන්තා), කාලිංග  කුමාරගේ, අනුර දර්ශන (මීටර් 400 - පිරිමි), නදීෂා   දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම) යන මෙවර පැරිස්  ඔලිම්පික්  නිර්දේශ ආසන්නයටම  ළගාවී සිටින ශ්‍රී ලංකා මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙවර ජාතික  තරගාවලියේ සහභාගිත්වයද  ඒ  හේතුවෙන් දැඩි අවධානයක්  දිනා තිබේ.

පොදු  රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා  ලෝකඩ  පදක්කම්ලාභී යුපුන් අබේකෝන්  2022 ටෝකියෝ ඔලිම්පික්  උළෙල  සදහාද නිර්දේශ  ලබා ගත්  ශ්‍රී ලංකා  ක්‍රීඩකයෙකි.


අදහස් (0)

යුපුන් අබේකෝන් කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.