Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රතු කමිසකාරයෝ අවසන් පූර්ව වටයට එති

රතු කමිසකාරයෝ අවසන් පූර්ව වටයට එති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලීග් තරගාවලියේ ලැබූ පරාජයේ වාඩුව කදිමට පිරිමසා ගනිමින් සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 46-29 කින් පරාජය කළ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩකයෝ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. පසුගියදා නිමාවට පත්වූ ලීග් තරගාවලියේදී දැරුණු පසුබෑමකට ලක්ව පස්වැනි ස්ථානය දක්වා පල්ලම් බැස සිටි රතු කමීසකාරයෝ කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ පස්වරුවේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී නැවත ජයග්‍රහණයේ මාවතට පිවිසියේ අළු මතින් නැගී සිටි ෆීනික්ස් කුරුල්ලා මෙනි.

තරගයේ ආරම්භයේ සිටම සිය ප්‍රතිවාදියා සමග ලෙල්ලම් කිරිමට පටන් ගත් රතුකමීස කාරයන් වෙනුවෙන් දෙවැනි මිනිත්තුවේදී ජොයෙල් පෙරේරා තැබූ අනගි උත්සාහක දිනුම තරින්ද රත්වත්ත විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබිණ. එහෙත් 10 වැනි මිනිත්තුවේදී වින්ගර් ක්‍රීඩක අනුරාධ හේරත් තැබූ විශිෂ්ට දිනුමක් සැමුවෙල් මධුවන්ත සාර්ථකව ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 7-7 කින් සමකර ගැනීමට සී.එච්.පිල සමත්විය.

ලීග් තරගාවලිය පුරා පෙරළිකාර ක්‍රීඩා විලාශයක නිරතවූ සී.එච්.පිලේ තරම හොඳින්ම දැන සිටි බැවින් රතු කමීස කාරයෝ ඉන් අනතුරුව ක්‍රීඩා කළේ හුස්මක් කටක් නොගෙනමය. ප්‍රතිවාදීන්ගෙන් මිදී බොහෝ ඈතට ගිය රතු කමිසකාරයෝ ලකුණු සංඛ්‍යාව 22-7 ක් ලෙස ඉහළ දමාගත්තේ ඊළඟ මිනිත්තු 12 ඇතුළත උත්සාහක දිනුම් 3ක්ම තබමිනි. එහි පළමු උත්සාහක දිනුම 15 වැනි මිනිත්තුවේදී රීසා රෆායිඩීන් තැබූ අතර 17 වැනි මිනිත්තුවේදී නායක කවිඳු පෙරේරා තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 17-7 කින් ඉහළ ගියේය.  

ගයාන් ඩිල්ෂාන්ගේ උත්සාහක දිනුම වාර්තා වූයේ 22 වැනි මිනිත්තුවේදීය. මේ උත්සාහක දිනුම් තුනම ගෝල බවට ප්‍රවර්තනය කිරීමට තරින්ද රත්වත්ත සමත්වූයේ නැත.

ඊට මිනිත්තු 10කට පසුව ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දැමීමෙන් පසුව තරගයේ පළමු භාගය නිමාවීමට පෙර සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ අනුරාධ හේරත් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ දැමුවේය.

ඉන් පසුව දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 3කට පසුව ජොයෙල් පෙරේරා සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ අතර තරින්ද රත්වත්ත එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමෙන් සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගියේය. පසුව 45 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරකුත් සාර්ථක කරගත් තරින්ද සිය කණ්ඩායම ලකුණු 32-15 කින් ඉහළට ඔසවා තැබුවේය. අනතුරුව ප්‍රතිවාදීන් පරාජය කරා තල්ලු කරමින් ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වාගත් සී.ආර්.පිල ලකුණු 39-15 කින් ඉදිරියට ගියේ චානක චන්දිමාල් තැබූ අනගි උත්සාහක දිනුම තරින්ද විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමත් සමගය.

සී.එච්.පිලට පසුගියදා එක්වූ ජාතික සත් සාමාජික පිලේ නායක සුදර්ශන මුතුතන්ත්‍රී 64 වැනි මිනිත්තුවේදී කදිම උත්සාහක දිනුමක් තැබීමට සමත්විය. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සැමුවෙල් මධුවන්ත සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාව 22 දක්වා ඉහළ දැමුවේය. එහෙත් 73 වැනි මිනිත්තුවේදී චානක චන්දිමාල් තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම තරින්ද රත්වත්ත ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමත් සමග ජයග්‍රහණයේ බලාපොරොත්තු අතහැර ගැනීමට සී.එච්.පිලට සිදුවිය. අවසන් මොහොතේ සුදර්ශන මුතුතන්ත්‍රී ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූවත් රතු කමීසකාරයන්ගේ ජයග්‍රහණය වැළැක්වීමට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.

අර්ධ අවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයක් ලැබූ සී.ආර්.පිල ලබන බදාදා (21) මහනුවර ක්‍රීඩා සමාජය සමග පල්ලෙකැලේ දී ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට එක්වීමට නියමිතය.

සී.ආර්. - සී.එච්. ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගයේ උණුසුම් අවස්ථා...

ඡායාරූප - ගයාන් අමරසේකර


අදහස් (0)

රතු කමිසකාරයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.