Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රන්තුෂ්ක - දිනූක අවසන් සටනට එති

රන්තුෂ්ක - දිනූක අවසන් සටනට එති

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 66 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට රන්තුෂ්ක සසිඳු සහ දිනූක කරුණාරත්න අද (2 වැනිදා) සමත් වූහ. ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන අවසන් මහ තරගය හෙට (3 වැනිදා) කොළඹ රාජකීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතය.
 
ඉකුත් වසරේ (2017) ජාතික ශූරයා බවට පත් වූ දිනූක, මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස බුවනෙක ගුණතිලක පරාජය කරමිනි. ඔවුන් දෙදෙනා අතර පැවැති තරගය වැඩිදෙනාගේ අවධානයට ලක්වූයේ අර්ධ අවසන් පූර්ව වටයේදී දිනූකගේ වැඩිමහල් සොහොයුරු නිලූක කරුණාරත්න පරාජය කිරීමට බුවනෙක සමත්ව සිටීම හේතුවෙනි.

එහි පළමු වටය ලකුණු 21/7 ක් ලෙස ජයගනිමින් තරගයට මනා ප්‍රවේශයක් ලබාගැනීමට දිනූක සමත් විය. එහෙත් පළමු වටයේදී තමා අතින් සිදුවූ වැරදි නිවැරදි කරගත් බුවනෙක, ලකුණු 21/13 ක් ලෙස දෙවැනි වටය ජයගනිමින් වට 1-1 ක් ලෙස තරගය සම තත්වයට පත්කළේය.

දෙදෙනාටම තීර්ණාත්මක වූ තෙවැනි වටයේ මුල් භාගය තුළ ලකුණු 8/3 ක් ලෙස පෙරමුණ ගැනීමට බුවනෙක සමත් වුවද, ඉතා ආක්‍රමණශීලී ලෙස නැවතත් තරගයට අවතීර්ණ වූ දිනූක ලකුණු 21/18 ක් ලෙස තෙවැනි වටය ජය ගත්තේ සමස්ත තරගයේ ජයද 2-1 ක් ලෙස තමන් සතුකර ගනිමිනි.  

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස දිලූක කරුණාරත්න පරාජය කරමින් රන්තුෂ්ක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඔහු ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියක කේවල අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙසද එය වාර්තා අතරට එක්විය.

එම තරගයද ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර කරට කර සටනකින් අනතරුව ලකුණු 21-19 ක් ලෙස පළමු වටය ජය ගැනීමට රන්තුෂ්ක සමත් විය. දෙවැනි වටයද පළමු වටයට නොදෙවෙනි වූ අතර ලකුණු 23-21 ක් එහි ජය හිමිවූයේ දිලූකටය. කෙසේ වුවත් තෙවැනි වටයේදී ලකුණු 21/14 ක් ලෙස දිලූක පරාජය කළ රනතුෂ්ක, වට 2-1 ක් ලෙස එම තරගය ජයගනිමින් අවසන් මහ තරගයේ ඉඩක් වෙන්කර ගත්තේය.

බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් වට 2-0 ක් ලෙස (21/9, 21/11) සිතිල ලියනගේ සහ ප්‍රමාල් වීරසිංහ පරාජය කරමින්ද, හසිත චානක සහ ආර්.එස්. කසුන් වට 2-1 ක් ලෙස (21/19, 18/21, 21/17) ඔසඳ මධුෂංක සහ ළහිරු වීරසිංහ පරාජය කරමින්ද පිරිමි යුගය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

මේ අතර ඉකුත් වසරේ ජාතික බැඞ්මින්ටන් ශූරිය බවට පත් වූ තිළිණි හෙන්ඳහේවා මෙවරද කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර අවසන් මහ තරගයේදී ඇය කාවින්දි සිරිමාන්ගේට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටින්නීය. කාවින්දි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයේදී ඩිල්මි ඩයස් හමුවේ නිතරග ජයක් ලබමිනි.

කේවල ඉසව්වේ ප්‍රතිවාදීන් වන තිළිණි සහ කාවින්දි කාන්තා යුගල ඉවසව්වේදී එක්ව තරග වඳින අතර ඔවුන් එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස (21/16, 21/13) නදීෂා ගයන්ති සහ ඕෂදී කුරුප්පු පරාජය කරමිනි. යුගල අවසන් තරගයේදී ඔවුන් දෙදෙනා අචිනි රත්නසිරිට සහ උපුල් වීරරත්නට එරෙහිව තරග වැදීමට නියමිතය.

අවසන් පූර්ව වටයේ තරගවලදී වට 2-0 ක් ලෙස (21/11, 21/14) විබවි මධූෂ සහ උපුලි වීරසිංහ පරාජය කරමින් සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවාද, වට 2-0 ක් ලෙස (21/8, 21/8) තිසල් යටවීර සහ ඕෂදී කුරුප්පු පරාජය කරමින් බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්ගේද මිශ්‍ර යුගල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති.

තරගාවලියේ සියලුම අවසන් මහ තරගය හෙට (3 වැනිදා) කොළඹ රාජකීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.

 


අදහස් (0)

රන්තුෂ්ක - දිනූක අවසන් සටනට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.