Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (13 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 83 ක පහසු ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් පාකිස්තානු කණ්ඩායම තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් ඉදිරියට පැමිණියේය.
ඉන්දිය කණ්ඩායම හමුවේ පැවැති එක්දින තරගාවලියේදී 5-0 ක පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගටම ලද 8 වැනි එක්දින පරාජය මෙයයි.
ලකුණු 67 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ වැටීම නිසා අසරණ වූ ශ්‍රී ලංකා පිල 25 වැනි ඕවරය නිමා වන විට ලබා සිටියේ කඩුලු 5 ක් දැවී ලකුණු 104 ක් පමණි. ළහිරු තිරිමාන්න (53) සහ තිසර පෙරේරා (21) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක් එක්කළ නමුත් ශ්‍රී ලංකා පිලේ ඉරණම ඒ වන විටත් ලියැවී තිබිණ. ලකුණු සංඛ්‍යාව 132 ක් වෙද්දී තිරිමාන්නත් පිටියෙන් ඉවත් වීමත් සමගින් එක්වූ අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ දෙදෙනාගේ උත්සාහය වූයේ තරගය ජයග්‍රහණය කරා ගෙනයාමට වඩා ඕවර සංඛ්‍යාවට මුහුණ දීමයි. ඕවර 21.5 ක් පිටියේ රැඳුණු මෙම පිතිකරුවන් දෙදෙනාගෙන් කණ්ඩායමට එක්වූයේ ලකුණු 68 ක් පමණි.
කෙසේ වෙතත් තරගය අවසන් වීමට පන්දුවක් ඉතිරිව තිබියදී අකිල ධනංජය සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගත්තේය.
තමන්ගේ ඕවර 10 ම එක දිගට යැවූ මොහොමඞ් හෆීස් ලකුණු 32 ක් දෙමින් දවාගත්තේ කඩුල්ලක් පමණක් වූවද හෆීස් හමුවේ ලකුණු ලබාගැනීම බෙහෙවින් අසීරු විය. පිත්තෙන් කළ නොහැකි වූ දේ පන්දුවෙන් කළ පිට දඟ පන්දු යවන්නා ශ්‍රී ලංකා පිලේ ලකුණු ගලාඒම පාලනය කළ ප්‍රධානතම පන්දු යවන්නා විය.
හෆීස් පන්දුව අතට ගන්නා විටත් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ චන්දිමාල් විතීවි අවස්ථාව ඉල්ලා සිටීම නිසා ශ්‍රී ලංකා පිල සතුව තිබූ එකම විනිසුරු තීරණ විමසීමේ අවස්ථවත් අහිමිවිය. ඕවර 3 ක් ඇතුළතදී නායක උපුල් තරංග, කුසල් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන තිදෙනාම දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩඒගත නොහැකි අගාධයකට ඇද වැටිණ.
බාබර් අසාම් (103) සහ ෂොයිබ් මලික් (81) කළ පිතිහරඹය හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 292 ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හොඳහැටි පහරදුන් පාකිස්තාන පිතිකරුවෝ අවසන් ඕවර 10 තුළදී කඩුලු 3 කට ලකුණු 89 ක් ලබාගත්හ.
පන්දු 128 කදී සිය හයවැනි එක්දින ශතකය ලබාගත් බාබර් අසාම් දැවීයාමට පෙර මුහුණ දුන් පන්දු 131 කට හතරේ පහර පහක් ඇතුළත්විය. අර්ධ ශතකය පන්දු 80 කදී රැස්කළ බාබර් අසාම් එතැන් සිට ශතකය කරා යෑමේදී මුහුණ දුන්නේ පන්දු 48 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරතවූ ෂොයිබ් මලික් දැවියන විටදී පන්දු 61 කට මුහුණ දෙමින් හයේ පහර දෙකකින් සහ හතරේ පහර පහකින් සිය ඉනිම අලංකාර කර තිබිණ. සිවුවැනි කඩුල්ල සදහා පන්දු 114 කදී ලකුණු 139 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූ බාබර් අසාම් සහ ෂොයිබ් මලික් දෙදෙනා පාකිස්තාන කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය 4.4 සිට 5.59 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූහ.
දෙදෙනා අතර පැවැති සම්බන්ධතාවේ වැඩි දායකත්වය මලික්ගෙනි.
දගපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය යැවූ පළමු පන්දුව සීමා ඉරෙන් පිටතට ඇදී ගිය පන්දුවක් ලෙස විනිසුරුවරයා විසින් තීරණය කළද කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල සහ අකිල ධනංජය එය උඩපන්දුවක් යැයි ඉල්ලිමක් කළහ. විනිසුරුවරයා එය ප්‍රතික්‍ෂේප කළද නායක උපුල් තරංග විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පා ඉන්නෙන් ඉවතට ඇදීයන පන්දුවට බාබර් අසාම් පහරක් ගැසීමට උත්සාහ කළද පිත්තේ නොවැදුණු පන්දුව කඩුලු රකින්නා දෙසට ඇදී යන අකාරයක් පුනරූපණ නැරඹීමේදී දැකගැනීමට හැකිවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පැවැති එකම විතිව් අවස්ථාව අහිමිවී ගියේය.
තරමක් වේගවත් පිතිහරඹයක නිරතවූ ෆකර් සමාන් ලකුණු 43 ක් ලබා දැවීයන විට පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සිය ඉනිමට එක්කර තිබිණ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ෆකාර් සමාන් සහ බාබර් අසාම් සමත්වූහ. මිඞ්විකට් කළාපයට ඉහළින් යෑමට ගැසූ පහරක් උඩපන්දුවක් ලෙස රැකගැනීමට චන්දිමාල් උත්සහ කළද අතේ වැදී පන්දුව ගිලිහියාම හේතුවෙන් ලකුණු 42 ක් ලබාසිටි බාබර් අසාම්ට තවදුරටක් කඩුල්ලේ රැඳීසීටීමට වාසනාව හිමිවිය.
මොහොමඞ් හෆීස් ලකුණු 32 ක් ලබාසිටියදී ජෙෆ්රී වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනිමට කළ ඉල්ලීමක් ප්‍රධාන විනිසුරුවරයා විසින් දැවියාමක් ලෙස තීරණය කළද ඉන් සැහීමකට පත්නොවූ හෆීස් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. තෙවැනි විනිසුරු පුනරූපණ නැරඹීමෙන් අනතුරුව මොහොමඞ් හෆීස් දැවී නොගිය පිතිකරුවකු ලෙස තීරණය කිරීමත් සමගින් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව ඔහුට හිමිවුවද ඊළග පන්දුවෙන් ඔහු දවාගැනීමට ජෙෆ්රී වැන්ඩර්සේ සමත්විය.
ඉන්දියාවත් සමගින් පැවැති එක්දින තරගාවලියේදී ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූ දිනේෂ් චන්දිමාල් නැවතත් කණ්ඩායම සමගින් එක්වී ඇති අතර වසර දෙකකට පසුව ළහිරු ගමගේ හට නැවතත් එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමිවිය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දු රැකීමට තීරණය කළද අපේක්‍ෂිත සීමාව තුළ පාකිස්තානු පිතිකරුවන් සිරකරගත නොහැකි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.