Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර 10 කට පසු තරුෂිගෙන් රන් පදක්කමක්
ආසියානු වයස 18 න් පහළ ශූරතාවලිය

වසර 10 කට පසු තරුෂිගෙන් රන් පදක්කමක්

editorial - 2025 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

 ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහ විදුහලේ සිසුවියක් වන තරුෂි අභිෂේකා මහදුරගෙදර වසර 10 කට පසුව ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය. පසුගිය සිකුරාදා (18 වැනිදා) සෞදි අරාබියේ දමාම් නුවරදී නිමාවට පත්වූ හය වැනි ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 (බාලිකා) ඉසව්ව ජය ගත්තේ  තරුෂි අභිෂේකා විසිනි. 

ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා රාත්‍රීයේදී පැවැති එම ඉසව්වේදී චීන ක්‍රීඩිකා යේ මෙයිලින් හා තියුණු තරගයක නිරත වෙමින් තරුෂි අභිෂේකා රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 2 තත්පර 14.86 ක කාලයකිනි. එහි අවසන් මීටර කීපයේදී චීන ක්‍රීඩිකාව හඹා ගිය තරුෂි තරගය ජය ගත්තාය.  
චීන ක්‍රීඩිකා මෙයිලින් විනාඩි 2 තත්පර 15.92 කට එහිදී රිදී පදක්කම හිමි කර ගත්තාය. විනාඩි 2 තත්පර 17.87 කට මෙහි ලෝකඩ පදක්කම අත් කර ගත්තේ පිලිපීන ක්‍රීඩක නඕමි කෙසර් විසිනි.

17 හැවිරිදි තරුෂි මීට පෙරත් මෙම ඉසව්වේ ජාත්‍යන්තර පදක්කම් දෙකක් දිනා තිබේ.මේ වන විට ජාතික යොවුන් මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත්ව සිටින තරුෂි අභිෂේකා පසුගිය තරගාවලියේදී ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට අමතරව දකුණු ආසියානු (කණිෂ්ඨ) රන් පදක්කම දිනා තිබේ. දමාම් තරගාවලියේදී තවදුරටත් කැපී පෙනෙ දස්කම් දැක්වූ තරුෂි, මිශ්‍ර සහය දිවීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමටද ඇතුළත් වූවාය.

ඇගේ පෞද්ගලික පුහුණුකරු ලෙස බුද්ධික නුවන් මහතා කටයුතු කරයි. 

ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් වරට රන් පදක්කමක් දිනා ඇත්තේ 2015 දී කටාර් රාජ්‍යයේදී පැවැති පළමු තරගාවලියේදීය.එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා යමානි දූලංජලී මීටර 400 - කඩුලු පැන දිවීම (බාලිකා) ඉසව්වෙන් රන් පදක්කමක්  දිනා තිබේ.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙකු සහභාගි වූ ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී  ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් හතරක් හිමි කර ගැනීමෙන් මෙම තරග ඉතිහාසයේ මෙතෙක් වැඩිම පදක්කම් ගණන දිනා ගැනීමටද සමත් විය. එහිදී පදක්කම් සටහනේ නව වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එහිදී ශ්‍රී ලංකාවට වඩා එක් පියවරක් ඉදිරියට පැමිණෙමින් අට වැනි ස්ථානයට පත් කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම මලල ක්‍රීඩා ප්‍රතිවාදියා වන ඉන්දියාව එක් රන් පදක්කමක් සමග රිදී හා ලෝකඩ පදක්කම් පහක් බැගින් හිමි කර ගෙන තිබුණි. තරගාවලියේ කුමන හෝ පදක්කමක් දිනා ගත් රටවල් 19 කින් චීනය සමස්ත තරගාවලියේ ජයග්‍රාහකයා වූයේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙලින් 19 ක් 12 ක් හා පහක් දිනා ගනිමිණි.

ඒ අතර තරගාවලියේ වැඩිම පදක්කම් ගණනක් දිනා ගත් රටවල් අතරේ ශ්‍රී ලංකාවට සිව් වැනි තැන හිමිව තිබුණි. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වී තිබුණේ අවම වශයෙන් පදක්කම් 10 ක් බවත් මීටර 1500  (බාලිකා) ඉසව්ව මග හැරීයාම නොවන්නට එම ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හොදටම ඉඩ කඩ තිබූ බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසීය.

දමාම් ආසියානු තරග සංචාරය නිමවා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) පාන්දර දිවයිනට ළගා විය. 

හය වැනි ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ සිව් වැනි  (අවසන්) දිනයේ (18) ශ්‍රී ලංකාව දිනා ගත් පදක්කම්

රන් පදක්කම -
මීටර 800 ( බාලිකා) - තරුෂි අභිෂේකා මහදුරගෙදර (විනාඩි 2 තත්පර 14.86)

රිදී පදක්කම - 

මිශ්‍ර සහය දිවීම (කාන්තා) - ශ්‍රී ලංකා කණ්ඩායම (විනාඩි 2 තත්පර 14.25) (ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු - සන්සලා හිමාෂණී සෙනවිරත්න  - තරුෂි අභිෂේකා මහදුරගෙදර  සහ  දිල්කි නෙහාරා මීගමුවගේ)

ලෝකඩ පදක්කම් -
උස පැනීම  (බාලක) - පවන් නේත්‍ය සම්පත් (මීටර 2.03)
තුන් පිම්ම (බාලිකා) : -දිල්කි නෙහාරා මීගමුවගේ ( මීටර 12.35)
මීටර 800 (බාලක) : - එච්.ඩී.සවිදු අවිශ්ක (විනාඩි 1 තත්පර 53.41)

මිශ්‍ර සහය දිවීමේ (කාන්තා) කණ්ඩායම - ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු - සන්සලා හිමාෂණී සෙනවිරත්න  - තරුෂි අභිෂේකා මහදුරගෙදර  සහ  දිල්කි නෙහාරා මීගමුවගේ


 


අදහස් (0)

වසර 10 කට පසු තරුෂිගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.