Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර 11 කින් අමරණීය ටෙස්ට් ඉනිමක්

වසර 11 කින් අමරණීය ටෙස්ට් ඉනිමක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ මෑත කාලයේ බිහිවූ නායකයන් අතර කැපී පෙනෙන චරිතයක් වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ග්‍රේම් ස්මිත් පසුගියදා හදිසියේම ක්‍රීඩාවෙන් සමුගත්තේ ක්‍රිකට් ලෝකයම විමතියට පත්කරමිනි. ක්‍රීඩාවෙන් සමුගන්නා විටත් නායකයා ලෙස කටයුතු කරමින් සිටි හෙතෙම වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක දී කණ්ඩායමක් මෙහෙයවූ ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට එක්වූයේ ටෙස්ට් තරග 109කට නායකත්වය  ලබාදෙමිනි.

ඔහු පළමුවරට සිය කණ්ඩායම මෙහෙයවූයේ එංගලන්තයට එරෙහිව 2003 වසරේදිය. එය ඔහුට මෙන්ම එවකට එංගලන්ත පිලේ නායකයා ලෙස කටයුතු කළ නසාර් හුසේන්ට ද අමතක නොවන තරගමාලාවකි.

එජ්බැස්ටන් නුවර පැවැති පළමු ටෙස්ට් තරගයට පෙර එංගලන්ත පිලේ නායක නසාර් හුසේන් තමන්ට නුපුරුදු මුහුණක් වූ ප්‍රතිවාදි පිලේ නායක ග්‍රෙහැම් ස්මිත්  තරග තීරකවරයට හඳුන්වා දුන්නේ ග්‍රෙග් ලෙසටය. එහෙත් එම තරගය අවසන් වනවිට 22 හැවිරිදි දකුණු අප්‍රිකානු පිලේ නායකයා සිය නම හුසේන්ගේ මතකයෙන් යළි කිසිදිනෙක ඈත් නොවන ලෙස සටහන් කරමින් පළමු ඉනිමේ දී ලකුණු 277ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 85ක් රැස් කිරීමට සමත්වීය. එපමණක් නොව ලෝඩ්ස් හී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 259ක් රැස් කිරීමට ද ඔහු සමත්විය. එය ලෝඩ්ස් පිටියේ දී විදෙස් පිතිකරුවකු ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

1981 පෙබරවාරි 1දා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර උපන් මේ වමත් පිතිකරුඅනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වාර්තා ගණනාවකට හිමිකම් කීමට සමත්විය. ඒ අතර වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ දකුණු අප්‍රිකානු පිතිකරුවාගේ වාර්තාවද,  වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් රැස් කළ (ශතක 15ක්) නායකයාගේ වාර්තාව ද,  වැඩිම ටෙස්ට් ජයග්‍රහණ සංඛ්‍යාවක් සඳහා කණ්ඩායම මෙහෙයවූ (තරග 50ක්) ක්‍රීඩකයාගේ වාර්තාව ද වේ.

2003 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව කේප්ටවුන් හී දි ටෙස්ට්  වරම් දිනාගත් ස්මිත් සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ ද ඔස්ට්‍රේලියාවට එරෙහිව කේප්ටවුන් හීදීම වීම විශේෂත්වයකි. මෙහි වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ එම ටෙස්ට් තරග 2කින්ම දකුණු අප්‍රිකාව පරාජයට පත්වීමය.

සිය අවසන් ටෙස්ට් තරගමාලාවෙන් ඔස්ට්‍රේලියාවට පරාජය වූවද සිය කණ්ඩායම ලෝක ටෙස්ට් පිටියේ ශ්‍රේණිගත කිරීම් අතරේ තවදුරටත් පෙරමුණේ රඳවා තැබීමට ස්මිත් සමත්විය.

තවමත් 33 හැවිරිදි වියේ පසුවන ස්මිත් ක්‍රීඩාවෙන් සමුගත්තේ සිය බිරිය හා දරු දෙදෙනා වෙනුවෙන් වැඩිපුර කාලයක්  යෙදවීමට අවශ්‍ය බව කියමිනි.  එමෙන්ම එය හදිසියේ ගත් තීරණයක් නොවන බවත්, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදි තම දකුණු පාදයේ වළලුකරේ ශල්‍යකර්මයක් කළ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමුකළ බවත් ඔහු කීවේය.

2011 වසරේ දී අයර්ලන්ත ගායිකාවක වන මෝගන් ඩියාන් සමග අතිනත ගත් ස්මිත්ට දකුණු අප්‍රිකාවේ මෙන්ම අයර්ලන්තයේ ද පුරවැසිභාවය හිමිවී තිබේ. ලන්ඩනයේ හා අයර්ලන්තයේ නිවාස දෙකකට හිමිකම් කියන ස්මිත් ඉදිරියේ දී වැඩිපුර කාලයක් එහි ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළ රාත්‍රියට පසුදින කාගෙත් අවධානය යොමුවූයේ ඔහු කෙරෙහිය.

එදින ලෝන් ඕෆ් කලාපයේ වැඩි කාලයක් පන්දු රැකීමේ නිරතවූ හෙතෙම තරගයට මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ සමරු‍පොත් අත්සන් කිරිමට ද එකසේ උනන්දුවක් දැක්වීය. ඒ වනවිට දකුණු අප්‍රිකා කණ්ඩායම අසීරු අඩියක පසුවූවද ඔහු සිටියේ සැහැල්ලු සිතකිනි.

ඔස්ට්‍රේලියානු පිතිකරුවකු දැවී යාමකට ආසන්න වූ අවස්ථාවල දී ඔහු උඩ පැන්නේය. ස්මිත් වෙනදාට වඩා ප්‍රීතියෙන් සිටින බවක් ඒ මොහොතේ තරගය නරඹමින් සිටි ක්‍රීඩාලෝලීන්ට දැනුණා විය හැකිය. එහෙත් ඇත්ත වශයෙන්ම ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය ඔහු ගෙන තිබුණේ ඉතා අසීරුවෙනි. එම තීරණය ඔහුගේ ජීවිතයේ ගත් වඩාත්ම දුෂ්කර තීරණය බැව් පෙර දින රාත්‍රියේ ඔහු කියා තිබුණේය.

පසුදින ක්‍රීඩා පිටියේ දී ඔහු කෙතරම් සැහැල්ලුවෙන් සිටියේ ද යත් ඇතැමුන් සිතුවේ ඔහු ඕවරයක් දෙකක් පන්දු යවනු ඇති බවය. ඔහු ඒ තරමටම සැහැල්ලුවෙන් සිටියේය.

සිය අවසන් ඉනිම ක්‍රීඩා කිරීමට ස්මිත් පිටියට පැමිණෙන විට දකුණු අප්‍රිකාවට තිබුණේ අසීරු ඉලක්කයකි. තරගයේ ජය ඔස්ට්‍රේලියාව සතු වනු ඇතැයි ඒ වනවිටත් අනාවැකි පළවී තිබිණි.

දකුණු අප්‍රිකානු ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුවී තිබුණේ ක්‍රීඩාවෙන් සමුගන්නා සිය ක්‍රිකට් නායකයා කෙරෙහි පමණි. දෙපිලෙහිම ආචාරය මධ්‍යයේ ස්මිත් පිටියට පිවිසියේය.

නිව්ලන්ඩ්ස් තණතීරුව ඔහු 18 හැවිරිදි වියේ සිටියදී ක්‍රීඩා කළ තණතීරුවම විය. එහෙත් ස්මිත් වැඩිවේලාවක් පිටියේ රැඳී සිටියේ නැත. ඔහු ආපසු ක්‍රීඩාගාරයට පිය මැන්නේය. 

පිටියේ හත‍රේ සීමා ඉර වෙත ළඟාවත්ම ක්‍රීඩාංගණය සිසාරා නැගුණු අත්පොලොසන් හඬට සිය ස්තූතිය පුද කිරීමට එක් අතකින් ආරක්ෂිත හිස්වැස්ම ඉහළට එසවූ ස්මිත් අනික් අතින් ක්‍රිකට් පිත්ත ඉහළට එසවීය. ක්‍රීඩා මණ්ඩපයේ රැඳී සිටි ඔහුගේ මාපියන් හා හිතවතුන්ට සිනහවකින් සංග්‍රහ කිරීමට ද අමතක නොකළේය. මොහොතකින් ඔහුගේ රුව අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් මැකී ගියේය. දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් පිල ලොව අංක එකට ඔසවා තැබූ මේ අසහාය නායකයාගේ අවසන් ටෙස්ට් ඉනිම මිනිත්තු 16කට, පන්දු තුනකට හා ලකුණු 3කට සීමාවිය.


අදහස් (1)

වසර 11 කින් අමරණීය ටෙස්ට් ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.