Last Update  :  2025-01-21 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැන්ඩසේ එංගලන්ත සංචාරයට එක්වෙයි
එංගලන්ත සංචාරය

වැන්ඩසේ එංගලන්ත සංචාරයට එක්වෙයි

editorial - 2024 අගෝ මස 09 456 Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එංගලන්තයට යන ටෙස්ට් කණ්ඩායමක් වේග පන්දු යවන්නන් හතර පස්දෙනකුගෙන් සමන්විත වීම සම්ප්‍රදායකි. එනිසාම තව නොබෝ දිනකින් එංගලන්තය බලා යන, 18 දෙනකුගෙන් සමන්විත, ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වේග පන්දු යවන්නන් 6 දෙනෙකු ඇතුළත් වන නමුත් දඟ පන්දු යවන්නකු වශයෙන් ජෙෆ්රි වැන්ඩසේත් ඊට ඇතුළත් කර තිබේ. 

ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේශී මෙහෙවරක් කළ ජෙෆ්රි වැන්ඩසේ, තරග දෙකකදී ලකුණු 68 කට කඩුලු 8 ක් දවාගත්තේය. වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනාත් සමගින් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් දඟ පන්දු යවන්නෝ තිදෙනෙකි.
 
මෙවර ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී පැවැත්වෙයි. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ නිමාව ආසන්න වීම හේතුවෙන් එංගලන්තයේ තණතීරු දඟ පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මුත්තයියා මුරලිදරන් කඩුලු 16 ක් දවාගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය ටෙස්ට් තරගය පැවැතියේ ද 1998 අගෝස්තු මාසයේදී වන අතර එවන් තණතීරු මතදී ශ්‍රී ලංකා පිතිකරුවෝත් හොඳින් දස්කම් දක්වති. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 21 වැනිදා මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. තරගාවලිය අවසන් වන්නේ සැප්තැම්බර් 10 වැනිදා ලන්ඩන් ඕවල් පිටියෙනි. 
2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියත් ඉලක්ක කරමින් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තබාගත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද නැවත වරක් ටෙස්ට් පිටියට කැඳවා තිබේ. ජෙෆ්රි වැන්ඩසේ මෙන්ම පැතුම් නිස්සංකද ටෙස්ට් සංචිතයට කැඳවා ඇත්තේ වසර දෙකක පමණ කාලයකට පසුවය. 

මෙම ක්‍රීඩකයන් 18 දෙනාට ඇතුළත්ව සිටින මිලාන් රත්නායක සහ නිසල තාරක දෙදෙනා තවමත් ශ්‍රී ලංකා හිස්වැස්ම පැළඳ නැත. මේ දෙදෙනාටම අවස්ථාව හිමිවී ඇත්තේ ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 සහ එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නන් පස් දෙනකු විවිධ ශාරීරික ආබාධවලට සහ අසනීප වලට මුහුණදීම වීම හේතුවෙනි. 

ඉන්දියාවට එරෙහිව පැවැති තරග 6 කින් යුත් සීමිත ඕවර තරගාවලියේදී ඉතාමත් සාර්ථක පිතිකරුවකු වූ පැතුම් නිස්සංක සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් පිතිකරුවෙකි. මේ දක්වා ටෙස්ට් තරග 9 කදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් ලබා සිටින නිස්සංකගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 537 කි. 

ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් වන නායක ධංනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, විශ්ව ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ නිශාන් මධුෂ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයෝ හත් දෙනෙක් එංගලන්තයේ තරග තත්ත්වයන්ට හුරුවීම සඳහා මේ වන විටත් එංගලන්තයට ගොස් සිටිති.

මෙම ටෙස්ට් තරගාවලිය අන්තර්ජාතික ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියකි. ටෙස්ට් ශූරතාවලියේදී මේ දක්වා තරග 4 කට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 50.00 ්‍ර කි. 

 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය 
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක


අදහස් (0)

වැන්ඩසේ එංගලන්ත සංචාරයට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.