Last Update  :  2024-11-27 18:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විදෙස් ක්‍රීඩකයන් 62 ක් අතර ශ්‍රී ලාංකිකයන් 6 ක් පමණයි
අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය

විදෙස් ක්‍රීඩකයන් 62 ක් අතර ශ්‍රී ලාංකිකයන් 6 ක් පමණයි

editorial - 2024 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(ශානුක අරවින්ද) 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2025) ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා සවුදි අරාබියේ ජේඩා නුවරදී පැවැති අතර ඒ සඳහා ඉදිරිපත්ව සිටි ක්‍රීඩකයන් 574 දෙනෙකුගෙන් 182 ක් තරගාවලියට සහභාගි වීමේ වරම් හිමිකර ගත්හ. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයෝ 120 ක් සහ විදෙස් ක්‍රීඩකයෝ 62 ක් වූහ. 

ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුව සෑම කණ්ඩායමකටම ඔවුන්ගේ ක්‍රීඩකයන් (උපරිමය 6 ක් දක්වා) තවදුරටත් සිය කණ්ඩායම් තුළම රඳවාගැනීමට සඳහා අවස්ථාව ලබා දී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩකයන් 46 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් නොකර තවදුරටත් රඳවාගැනීමට කණ්ඩායම් 10 හි හිමිකරුවෝ පියවර ගෙන තිබූහ. 

ඒ අනුව රඳවාගත් ක්‍රීඩකයන් 46 දෙනා සහ වෙන්දේසියේදී අලෙවි වූ ක්‍රීඩකයන් 182 දෙනා සමග මෙවර තරගාවලියට සහභාගි වන මුලු ක්‍රීඩකයන් සංඛ්‍යාව 228 කි. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් මතීෂ පතිරණ හැරුණුකොට සෙසු ක්‍රීඩකයන් 6 දෙනාම වෙන්දේසියේදී අලෙවි වූ ක්‍රීඩකයෝ වූහ.  

ඉන්දීය රුපියල් කෝටි 13 ක මිලක් නියම කරමින් වෙන්දේසියට ඉදිරිපත් නොකරම මතීෂ පතිරණ තවදුරටත් සිය කණ්ඩායම තුළ රඳවාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෝ පියවර ගෙන තිබූහ. 

වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ වනිඳු හසරංගගේ සේවය ඉන්දීය රුපියල් කෝටි 5.25 ක මුදලකට මිලදී ගැනිමට ඉදිරිපත් වූ රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම, ඉන් නොනැවතී ඉන්දීය රුපියල් කෝටි 4.4 ක් ගෙවමින් මහීෂ් තීක්ෂණද සිය කණ්ඩායමට ඇතුළත් කර ගත්තේය.  

ඉන්දීය රුපියල් කෝටි 1.6 ක මුදලක් ගෙවමින් නුවන් තුෂාරගේ සේවය මිලදී ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත් වෙද්දී, තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඒෂාන් මාලිංගගේ සේවය මිලදී ගැනීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ගෙවූ මුදල ඉන්දීය රුපියල් කෝටි 1.2 කි. 

කමිඳු මෙන්ඩිස්ගේ සහ දුෂ්මන්ත චමීරගේ සේවයන් මිලදී ගැනීමට පිළිවෙලින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉදිරිපත් වූයේ ඔවුන්ට වෙන්දේසිය සඳහා ඔවුන් ලියාපදිංචි වී සිටි මූලික ලන්සුව වූ ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් ගෙවමිනි.   

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 19 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර ඉහත කී ක්‍රීඩකයන් 6 දෙනා හැරුණු කොට පැතුම් නිසස්සංකගේ, ඩිල්ෂාන් මධුෂංකගේ සහ විජයකාන්ත් වියස්කාන්ත්ගේ නම්ද වෙන්දේසියේදී නිවේදනය කෙරුණු නමුත් ඔවුන්ගේ සේවය මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. 

සෑම කණ්ඩායමක්ම මිලදීගත යුතුව තිබූ අවම ක්‍රීඩකයන් සංඛ්‍යාව මිලදී ගෙන තිබීමත්, තවත් ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා කිසිදු කණ්ඩායමක් සතුව ඉන්දීය රුපියල් ලක්ෂ 75 කට වැඩි මුදලක් නොතිබීමත් හේතුවෙන් වෙන්දේසිය නිමා කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ. ඒ සමග සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10 දෙනාගේම නම් එහිදී නිවේදනය නොකරම අතහැර දැමිණ. 

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ වත්මන් නායක චරිත් අසලංක, හිටපු නායකයන් වන දසුන් ශානක, කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් මෙන්ම ජෙෆ්රි වැන්ඩසේ, භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, ළහිරු කුමාර සහ දුමිඳු සෙව්මිණද එලෙස නම් නිවේදනය නොකරම අතහැර දැමුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වූහ. 

 


අදහස් (0)

විදෙස් ක්‍රීඩකයන් 62 ක් අතර ශ්‍රී ලාංකිකයන් 6 ක් පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.