Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විදේශීය ක්‍රීඩා ලෝලීන්ට ඔලිම්පික් තහනම්

විදේශීය ක්‍රීඩා ලෝලීන්ට ඔලිම්පික් තහනම්

editorial - 2021 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම ගිම්හානයේදී පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ක්‍රීඩා ලෝලීන්ට පැමිණීම තහනම් කරන බව ජපානයේ ඔලිම්පික් කමිටු සංවිධායකයෝ අද (සෙනසුරාදා) ප්‍රකාශ කළහ. පෙර නොවූ විරූ තීරණයක් වන මෙම තීන්දුවත් සමගින් විදේශීය ප්‍රේක්ෂකයින් නොමැතිව ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන පළමු අවස්ථාව ලෙස ටෝකියෝ 2020 ඉතිහාසයට එක්වනු ඇත.

ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 අගෝස්තු මාසයේදී වුවද කොරෝනා වයිරසයේ ලෝක ව්‍යාප්තිය හේතුවෙන් එය වසරකින් කල් දැමීමට සංවිධායකයන්ට සිදුවිය.

ඔලිම්පික් උළෙල වසරකින් කල්දැමීමට තීරණය කළ විට නිලධාරීන් පැවසුවේ මෙම වසරක ප්‍රමාදය “වෛරසයට එරෙහිව මානව වර්ගයාගේ ජයග්‍රහණය පිළිබඳ සාක්ෂියක්” ලෙස 2021 දී එය පැවැත්වීමට හැකිවනු ඇති බවයි. එහෙත්, ඒ වෙනුවට, මෙවර ඔලිම්පික් උළෙල සම්පූර්ණයෙන්ම පාහේ රූපවාහිනියේ ඉසව්වක් බවට පත්වනු ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සාමාන්‍යයෙන් විශාල ජාත්‍යන්තර ප්‍රජාවකගේ සහභාගිත්වයක් ඇතිව පැවැත්වෙන්නකි. එහි චිත්තාකර්ශනීය භාවය රැඳී ඇත්තේත් ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන තරමට ප්‍රේක්‍ෂකයන් ඇති විටය.

එසේ වුවත් මේ වන විට කොරෝනා වයිරසය ලෝකය පුරා ඇතිකර ඇති බලපෑම හේතුවෙන් දේශීය තරග සංවිධායකයින්, ජපාන නිලධාරීන් සහ ඔලිම්පික් මෙන්ම පැරලිම්පික් ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කළ නිවේදනයකින් කියැවෙන්නේ ජපානයේ සහ විදේශයන්හි වෛරසයේ තත්ත්වය ඉතා අභියෝගාත්මක බවයි.

“වසංගතයේ වර්තමාන තත්ත්වය මත පදනම්ව, මෙම ගිම්හානයේදී විදේශයන්හි සිටින පුද්ගලයින් සඳහා ජපානයට ඇතුළුවීම සහතික කරනු ඇතැයි සිතිය නොහැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස “ජපාන පාර්ශවයේ නියෝජිතයන් නිගමනය කර ඇත්තේ ඔලිම්පික් හා පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී විදේශීය රසිකයින්ට ජපානයට ඇතුළු වීමට අවසර දිය නොහැකි බවයි” යයි එම නිවේදනයේ දැක්වේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ අන්තර්ජාතික පැරලිම්පික් කමිටුව ඉහත කී නිගමනයට පූර්ණ ගෞරවය හා පිළිගැනීම දී තිබේ. ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් මිලදී ගත් ප්‍රවේශපත්‍රයක් තිබුණද ජපානයට ඇතුළු වීම සඳහා එය වලංගු බලපත්‍රයක් නොවනු ඇත.

එම ප්‍රවේශපත්‍ර වලට ආපසු මුදල් ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ පැරලිම්පික් කමිටුව ඉදිරියේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා පවසන්නේ තරගාවලියේ ආරෂාව සහතික කිරීම සඳහා අසීරු තීරණ ගැනීමට සිදුවන බවයි. 2020 ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුවේ ප්‍රධානී සීකෝ හෂිමොටෝ මහත්මිය ප්‍රකාශ කරන පරිදි, විදේශීය තරගකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට පවා ජපානයට ඇතුළුවීම අසීරු වනු ඇත. ඒ අතරම එක් එක් ක්‍රීඩාංගණයට ඇතුළත් කෙරෙන ජපාන ප්‍රේක්‍ෂකයන් සංඛ්‍යාව ගැන පවා තවමත් තීරණයක් ගෙන නැත. ඒ පිළිබඳ තීරණය ජූලි මස 23 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලියේ සමාරම්භක උත්සවය ආසන්නය දක්වාම කල්තැබෙනු ඇත.

කෙසේ වෙතත් මෙවන් තීරණයක් ගෙන ඇත්තේ ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවටය. 1920 දී ස්පාඤ්ඤ උණ වසංගතය පවතිද්දීත් ඇන්ට්වර්ප්හි පැවැති ඔලිම්පික් උළෙල සඳහා ප්‍රේක්‍ෂකයන්ට තහංචි පැනවීමක් නොකෙරිණ.

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලේ ප්‍රධාන විධායක නිලධාරී ටොෂිරෝ මුටෝ පිළිගත්තේ ජපනයේ අගනුවර වන ටෝකියෝහි වයිරසයේ බලපෑම තවමත් ඉතාමත් තදින් පවතින බවයි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිර්දේශ කරන්නේ කොරෝනා මර්දන එන්නත ලබාගන්නා ලෙසයි. කොරෝනා ප්‍රතිරෝධි  ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් කළ වියදම් ඇස්තමේන්තුව ඩොලර් බිලියන 15 කි. එය ඔලිම්පික් උළෙලක් වෙනුවෙන් ලෝකයේ මෙතෙක් කළ විශාලතම වියදම ලෙසින්ද වාර්තා පොතට එක්වනු ඇත.

- 213

- (ලන්ඩන්) ඒ.එෆ්.පී.

 


අදහස් (0)

විදේශීය ක්‍රීඩා ලෝලීන්ට ඔලිම්පික් තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.