Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විශ්මි - දිල්හාරි ශ්‍රී ලංකාව දිනවති
කාන්තා එක්දින තරගාවලිය

විශ්මි - දිල්හාරි ශ්‍රී ලංකාව දිනවති

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කවීෂා දිල්හාරි පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද පෑ දස්කම් අතරට අගනා අර්ධ ශතකයක් ගෙන ආ විශ්මි ගුණරත්න, බටහිර ඉන්දීය කාන්තා පිලට එරෙහිව අද (18 වැනිදා) සූරියවැවදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක ජයක් කරා කැඳවාගෙන ගියාය. කොදෙව් ක්‍රීඩිකාවන් ඕවර 31 කදී ලබාගත් ලකුණු 92, ඕවර 21.2 කින් අභිබවා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත තරගාවලියේදී 2-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයග්‍රහණය මිට මොළවා ගනිමිනි. 

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායිකා ෂර්මේන් කැම්බල් පළමුව ලකුණු රැස්කිරීම තෝරාගත් නමුත් අචිනි කුලසූරිය සහ කවීෂා දිල්හාරි එක්ව ලකුණු 22 ක් ඇතුළත කොදෙව් කඩුලු 3 ක් බිම දමාගත්හ. කුලසූරිය කඩුලු දෙකක් දවාගනිද්දී කවීෂා දිල්හාරි දමාගැසූ පන්දුව කඩුල්ලේ වැදීම නිසා ශාබිකා ගජ්නබී ලකුණු ලබාගැනීමට පොරතුව දැවී ගියාය. 

කොදෙව් ක්‍රීඩිකාවෝ වරෙක කඩුලු 3 කට ලකුණු 46 ක් ලබා සිටියද, ඉන් අනතුරුව පන්දුව අතට ගත් දිල්හාරි (20/4) සහ නායිකා චමරි අතපත්තු එක්ව ලකුණු 46 ක් ඇතුළත කොදෙව් පිතිකාරිණියන් හත් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යවමින් කොදෙව් ඉනිම ලකුණු 92 කට සීමා කළහ. 

පහසු ඉලක්කයක් කරා යද්දී චමරි අතපත්තු (1) සහ හර්ෂිතා සමරවික්‍රම (0) ඉක්මනින් දැවී ගියහ. එහෙත් විශ්මි ගුණරත්න සහ කවීෂා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආහ. 

විශ්මි පන්දුවට පහර දුන්නේ ‘චකිතය’ ගැන වගේ වගක් නොදන්නා එකියක මෙනි. කොදෙව් කාන්තාවන්ගේ සම්පූර්ණ ඉනිමටම ඇතුළත් වූයේ හතරේ පහර 13 කි. එහෙත් විශ්මි පන්දු 50 කින් ලබාගත් අර්ධ ශතකය හතරේ පහර 9 කින් සහ හයේ පහරකින් සමන්විත විය. හතරේ පහර 4 ක් ඇතුළත් වූ කවීෂා දිල්හාරිගේ ලකුණු 28 පැමිණියේ පන්දු 38 කිනි. 

විශ්මිගේ දැවී යාමත් සමගින් ලකුණු 10 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් නිලක්‍ෂිකා ද සිල්වා සහ අනුෂ්කා සංජීවනී ශ්‍රී ලංකා කණ්ඩායම කඩඉමෙන් එතෙර කළහ. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් තරගාවලියකදී කොදෙව් කාන්තාවන් පරාජය කරන ලදදේ වසර 12 කට පසුවය. තරගාවලියේ ඉතිරි තරගය ලබන 21 වැනිදා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. 
මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අන්තර්ජාතික කාන්තා ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා පැමිණ සිටී. 

බටහිර ඉන්දීය කාන්තාවෝ - ඕවර 31 කදී සියලු දෙනා දැවී 92 යි
(රෂාඩා විලියම්ස් 24, චෙඩීන් නේෂන් 12, ආලියා ඇලේන් 16, ඇෆී ෆ්ලෙචර් 16, අචිනි කුලසූරිය16/2, කවීෂා දිල්හාරි 20/4, චමරි අතපත්තු 08/2)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 21.2 කදී කඩුලු 5 ට 93 යි 
(විශ්මි ගුණරත්න 50, කවීෂා දිල්හාරි 28, කරිෂ්මා රාම්හරක් 29/2)

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

විශ්මි - දිල්හාරි ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.