Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වීනස් අර්ධ අවසන් පූර්ව වටයට

වීනස් අර්ධ අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගබිමට පිවිස වසර 20 ක් සපුරන වීනස් විලියම්ස් අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා තරග ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට එක්වී සිටින්නීය.

අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ පසුවන 37 හැවිරිදි මේ වයස්ගත ක්‍රීඩිකාව අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ හඹා යන්නේ 16 වසරකින් අතට නොගත් ස්වකීය භූමියේ කීර්තිමත් ටෙනිස් ශූරතාවට කුරුමානම් අල්ලමිනි. 

ඇය අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව අවසන් වරට දිනාගත්තේ 2001දීය. එය වූකලී ඇය පිට පිට අත්කරගත් දෙවැනි අමෙරිකානු ටෙනිස් කිරුළද විය. ඉන් අනතුරුව ඇයට අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයකට පිවිසීමට අවස්ථාවක් ලැබුණේම නැත. 

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පාන්දර 4.30 ට නිව්යෝක් නගරයේ බිලි ජීන් කිං ජාතික ටෙනිස් මධ්‍යස්ථානයේ ආතර් ඈෂ් ටෙනිස් පිටියේ රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අර්ධ අවසන් පුර්ව තරගයේදී විනස්ගේ ප්‍රතිවාදිනිය වන්නේ ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 13 වැනි ස්ථානයේ සිටින චෙක් රාජ්‍යයේ පෙට්රා ක්විටෝවාය. 

ස්පාඤ්ඤයේ කාර්ලා සුවාරිස්ට එරෙහිව ලකුණු 6-3 ක්, 3-6 ක්, 6-1 ක් ලෙස සිවුවැනි වටයේ තරගය ජයගනිමින් 12 වරටත් අමෙරිකානු විවෘත ශුරතාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසි වීනස් එක් අතකින් මේ ගත කරමින් සිටින්නේ ඇගේ ක්‍රීඩා දිවියේ සමෘද්ධිමත් වසරකි.

එවැනි සරුසාර වසරක් ඇයට උදාවී ඇත්තේ දශකයකට පමණ පසුවය. මේ වසරේදී වීනස් ජයගත් තරග ප්‍රමාණය 33ක් වන අතර ඉන් ජයග්‍රහණ 19ක්ම වාර්තා වූයේ ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලි හතරේදීය. මේ වසරේ පැවැති පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය වූ ඕස්ට්‍රේලියානු තරගාවලියේ සහ විම්බල්ඩන් තරගාවලියේ අනුශූරිය බවට පත්වූ වීනස් ප්‍රංශ විවෘත තරගාවලියේදී සිවුවැනි වටයට සේන්දු වූවාය. 

ෙහෙට අර්ධ අවසන් පූර්ව වටයේදී වීනස්ගේ ප්‍රතිවාදිනිය වන ක්විටෝවා මීට පෙර දෙවතාවක්ම විම්බල්ඩන් ශූරතා දිනාගත් විශිෂ්ට ක්‍රීඩිකාවකි. ඇය අර්ධ අවසන් පුර්ව වටයට සේන්දු වූයේ සිවුවැනි වටයේදී අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි තැන සිටි ස්පාඤ්ඤයේ ගාබීන් මුගුරූසා පරාජයට පත් කරමිනි. 

ශූරියට සහ ශූරයාට අමෙරිකානු ඩොලර් මිලියන 3.7 ක මුදල් මල්ලක් පිරිනැමෙන අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය මේ පැවැත්වෙන්නේ 137 වැනි වතාවටය. 

-077


අදහස් (0)

වීනස් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.